නිමල් රාජපක්ෂ
ව්‍යවසායකයින් සහ කර්මාන්තකරුවන් මුහුණ දෙන ප්‍රායෝගික ගැටලු හඳුනාගෙන, රාජ්‍ය යාන්ත්‍රණය ඔවුන් වෙත සමීප කරවීමේ අරමුණින් කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් අද (10 දා) බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී බදුල්ල දිස්ත්‍රික් කර්මාන්ත අනුකමිටුව පැවැත්විණි.
මෙහිදී අමාත්‍යවරයා අවධාරණය කළේ රාජ්‍ය නිලධාරීන් තීරණ ගැනීමට මැලිවීම නිසා ව්‍යවසායකයින් පීඩාවට පත්වන බවත්, පද්ධතිය තුළ පවතින බාධා (Bottlenecks) වහා ඉවත් කළ යුතු බවයි.
මෙහිදී රාජ්‍ය යාන්ත්‍රණය සහ ව්‍යවසායකයා අතර පවතින දුරස්ථභාවය ඉවත් කිරීම පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා වූ අතර, ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් ගැටලු විසඳා ගැනීමට ප්‍රාදේශීය කර්මාන්ත කමිටු ශක්තිමත් කළ යුතු බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
එසේම, ව්‍යවසායකයින්ට අවශ්‍ය තොරතුරු භාෂා තුනෙන්ම ලබාගත හැකි පරිදි අමාත්‍යාංශ වෙබ් අඩවිය (Portal) නවීකරණය කර ඇති අතර, මේ වන විට කර්මාන්ත 3,000කට අධික ප්‍රමාණයක් එහි ලියාපදිංචි වී ඇති බවට ප්‍රකාශ කලේය.
එසේම දිත්වා සුළිකුණාටුව හේතුවෙන් හානියට පත් වූ දිස්ත්‍රික්කයේ ව්‍යාපාර සහ කර්මාන්ත නැවත නගාසිටුවීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ගවල වර්තමාන තත්ත්වය පිළිබඳව ද මෙහිදී විශේෂ අවධානයක් යොමු විය. ව්‍යවසායකයින් මුහුණ දෙන ප්‍රධානතම බාධාවක් වන ඉඩම් ගැටලුවට කඩිනමින් මැදිහත් වන ලෙස නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
මෙම අවස්ථාව සඳහා බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රවීන්ද්‍ර බණ්ඩාර මහතා, බදුල්ල දිස්ත්‍රික් ලේකම් පී.එස්.පී අබේවර්ධන මහතා ඇතුළු රාජ්‍ය නිළධාරීන් සහභාගී විය.
