නිමල් රාජපක්ෂ
විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය රුහුණු විශ්ව විද්‍යාලයේ කෘෂි විද්‍යා පීඨය සමග එක්ව දකුණු පළාතට විශේෂිතව ස්ථාපිතකරන සේවා හා ආධාරක මධ්‍යස්ථානය – “Harvest Centre” විවෘත කිරීම විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද දින (12) රුහුණු විශ්ව විද්‍යාලයීය කෘෂි විද්‍යා පීඨ පරිශ්‍රයේ දී සිදු කෙරිණි.
දකුණු පළාතේ ව්‍යවසායකත්වය, නව නිපැයුම්කරණය, පර්යේෂණ වාණිජකරණය සහ ආරම්භක ව්‍යාපාර සංවර්ධනය හා පෝෂණය කිරීම මෙම ‘Harvest Centre’ තුළින් සිදු කිරීමට අරමුණු කෙරේ.
විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ ප්රමුඛ ජාතික වැඩසටහනක් ලෙස ගමට තාක්ෂණය පැවරීම වෙනුවෙන් විදතා වැඩසටහන ක්‍රියාත්මක කරයි. මෙහි දී විද්‍යා, තාක්ෂණ හා නවෝත්පාදන දැනුම තුළින් ග්රාමීයව ස්වාභාවික සම්පත්වලට අගය එකතු කළ නිෂ්පාදන බිහිකිරීම ඇතුළුව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වර්ධනයට සහාය වීමත්, ඒ තුළින් ශ්‍රී ලංකාව පුරා ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කිරීමට සුදුසු යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කරයි. මේ සඳහා දිවයින පුරා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින් විදාතා මධ්‍යස්ථාන ස්ථාපිත කර ඇති අතර, එහි පුළුල් හා ඉදිරි පියවරක් ලෙස රාජ්‍ය විශ්ව විද්‍යාල ආශ්‍රිතව සේවා හා ආධාරක මධ්‍යස්ථාන ස්ථාපිත කිරීම සිදු කෙරේ. මෙහි දී ව්‍යවසායකයින්, නව නිපැයුම්කරුවන් සහ ආරම්භක ව්‍යාපාරිකයින් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කර නවෝත්පාදනය, ව්‍යවසායකත්වය සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සංවර්ධනය හා ශක්තිමත් කිරීම විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ අරමුණයි.
ඒ වෙනුවෙන් විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය ස්ථාපිත කරන දෙවන, සේවා හා ආධාරක මධ්‍යස්ථානය ‘Harvest Centre’ වන අතර ඒ තුළින්, දේශීය ආර්ථිකයට නව ජවයක් ලබා දෙමින් දේශීය කර්මාන්ත ශක්තිමත් කිරීමට දායකත්වය ලබා දෙනු ඇත. මාතර, ගාල්ල සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවල සිටින උනන්දුවක් ඇති කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට විද්‍යාත්මක පදනමක් මත තම නිෂ්පාදනවලට අගය එකතු කර ව්‍යාපාර සංවර්ධනය කර ගැනීමටත්, ජාතික හා ජාත්‍යන්තර ප්රමිතීන් සපුරා ගනිමින් දේශීය මෙන්ම විදේශීය වෙළඳ පොළ ජය ගැනීමටත් මහඟු පිටුවහලක් ලැබෙනු ඇත.
මෙම අවස්ථාවට බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අර්කම් ඉල්යාස්, මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහාචාර්ය එල්. එම්. අබේවික්‍රම, අජන්ත ගම්මැද්දෙගේ යන මහත්වරුන්, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශ ලේකම් මොහොමඩ් නවවී, රුහුණු විශ්ව විද්‍යාලයේ උප කුලපති මහාචාර්ය පී.ඒ ජයන්ත, කෘෂිකර්ම පීඨයේ පීඨාධිපති මහචාර්ය ජී. වයි. ජයසිංහ යන මහත්වරුන්, රාජ්‍ය නිලධාරීන්, විද්වතුන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.
