Spread the love

නිමල් රාජපක්ෂ

රජයේ අරමුණ හුදෙක් යුද ගැටුම් නොමැති වීම පමණක් නොව, සෑම පුරවැසියෙකුටම ගෞරවයෙන් ජීවත් විය හැකි, සාධාරණත්වය ඉටු වන ශ්‍රී ලංකාවක් ගොඩනැගීමයි අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ, හර්ෂණ නානායක්කාර මහතා පවසයි.

අධිකරණ ඇමතිවරයා මෙම අදහස් පළ කළේ ජාතික සමගිය හා ප්‍රතිසන්ධාන කාර්යාලයේ (ONUR) වෙබ් අඩවිය යාවත්කාලීන කිරීම සහ “පූර්ව අනතුරු ඇඟවීමේ සහ පූර්ව ප්‍රතිචාර දැක්වීමේ” (EWER) පද්ධතිය එළිදැක්වීමේ අවස්ථාවට ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේදී අද (13) පෙරවරුවේ එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් පළ කළ අධිකරණ අමාත්‍යතුමා මෙසේ සඳහන් කලේය.

අද දවස අපේ රටේ සංහිඳියාව පිළිබඳ ගමනේ ඉතා වැදගත් හැරවුම් ලක්ෂයක්. අපි අද මෙතැනට රැස්වී සිටින්නේ 2024 අංක 1 දරන පනත මගින් ස්ථිර ව්‍යවස්ථාපිත ආයතනයක් බවට පත් කළ ජාතික සමගිය හා ප්‍රතිසන්ධාන කාර්යාලය (ONUR) වඩාත් නවීන හා තාක්ෂණික මෙවලම්වලින් සන්නද්ධ කරන්නයි.

අපේ රජයේ අරමුණ වෙන්නේ හුදෙක් යුද ගැටුම් නොමැති වීම පමණක් නොව, සෑම පුරවැසියෙකුටම ගෞරවයෙන් ජීවත් විය හැකි, සාධාරණත්වය ඉටු වන ශ්‍රී ලංකාවක් ගොඩනැගීමයි. ජාතික සමගිය හා ප්‍රතිසන්ධාන කාර්යාලය ආයතනය ” යුද ගැටුම් නොමැති වීම” යන තත්ත්වයෙන් ඔබ්බට ගොස්, සැබෑ සාමය ස්ථාපිත කිරීම සඳහා අංශ කිහිපයකින් ක්‍රියාත්මක වෙනවා. ප්‍රජාවන් අතර ආතතීන් ඇතිවිය හැකි ස්ථාන හඳුනාගෙන, ඒවා ප්‍රචණ්ඩත්වයක් දක්වා වර්ධනය වීමට පෙර විසඳීමට මැදිහත් වීම නව පූර්ව අනතුරු ඇඟවීමේ සහ පූර්ව ප්‍රතිචාර දැක්වීමේ පද්ධතිය මෙහි ප්‍රධාන කොටසක් ලෙස හැදින්විය හැකියි.
අද දින විශේෂම අවස්ථාව වන්නේ පූර්ව අනතුරු ඇඟවීමේ සහ පූර්ව ප්‍රතිචාර දැක්වීමේ පද්ධතිය නිල වශයෙන් දියත් කිරීමයි. අතීතයේදී අප බොහෝ විට කටයුතු කළේ වාර්ගික හෝ ආගමික ගැටුම් ඇති වූ පසුවයි. රජය මැදිහත් වන විට බොහෝ විට සිදුවිය යුතු හානි සිදුවී හමාරයි.
ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සමඟ එක්ව ජාතික සමගිය හා ප්‍රතිසන්ධාන කාර්යාලය දියත් කරන මෙම පද්ධතිය එම තත්ත්වය වෙනස් කරනු ඇත. ක්ෂණික දත්ත තුළින් ඩිජිටල් නිරීක්ෂණ සහ ප්‍රජා වාර්තාකරණය හරහා, ගැටුමක් ඇති වීමට පෙර එම ස්ථාන හඳුනා ගැනීමට අපට හැකියාව ලැබෙනවා. අනතුරු ඇඟවීමක් ලැබුණු සැණින්, ප්‍රදේශයේ ආගමික නායකයින්, සිවිල් සංවිධාන සහ නීතිය ක්‍රියාත්මක කරන ආයතන ඒකාබද්ධ කරමින් “පූර්ව ප්‍රතිචාර” දැක්වීමට අපට පුළුවන්. මෙහිදී දත්ත ආරක්ෂාව සහ පුද්ගල නිදහස ආරක්ෂා කිරීමට අපි දැඩි අවධානයක් යොමු කර තිබෙනවා.