Spread the love

දිවුලපිටිය හා මීරිගම තෝරා ගත් අඩු ආදායම්ලාභී කාන්තාවන්, ගර්භනී මාතාවන් හා ආබාධිත කාන්තාවන් සඳහා වියළි ආහාර ද්‍රව්‍ය පාර්සල් ප්‍රදානය කිරීම ඊයේ (01)පෙරවරුවේ ගම්පහ අතිරේක දිස්ත්‍රික් ලේකම් ජේ.ඩබ්.එස්. කිත්සිරි මහතාගේ ප්‍රධානත්වයෙන් දිවුලපිටිය හා මීරිගම ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලදී සිදු කෙරිණි.

මේ සඳහා වැය කර ඇති මුදල රුපියල් ලක්ෂ 10කි. මෙරට රාජ්‍ය නොවන සංවිධානයක් වන පාලම් ව්‍යාපෘතිය (Paalam Project) මගින් මේ සඳහා මූල්‍ය අනුග්‍රහය දැක්වීය. එක් එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකින් තෝරා ගත් කාන්තාවන් 50 දෙනා බැගින් කාන්තාවන් 100 දෙනෙකු වෙත වියළි ආහාර ද්‍රව්‍ය පාර්සල් පිරිනමන ලද අතර එක් පාර්සලයක වටිනාකම රුපියල් 10,000/-කි.

මීට සමගාමීව මෙම ව්‍යාපෘතිය යටතේ ම අද දින ගම්පහ, ගණේමුල්ල හේමමාලී විද්‍යාලය සඳහා රුපියල් 75,000/-ක වටිනාකමින් යුතු වියළි ආහාර ද්‍රව්‍ය පාර්සල් ප්‍රදානයක් ද එම විද්‍යාලයේදී සිදු කෙරිණි. හේමමාලී විද්‍යාලයේ විදුහල්පති සී.පී. හෙට්ටිආරච්චි මහතා වෙත එම ද්‍රව්‍ය ප්‍රදානය කරන ලද්දේ ගම්පහ අතිරේක දිස්ත්‍රික් ලේකම් ජේ.ඩබ්.එස්. කිත්සිරි සහ Paalam Projectහි ක්‍රිස් පද්මනාදන් යන මහත්වරුන් විසිනි.

මේ අවස්ථාවට ගම්පහ ප්‍රාදේශීය ලේකම් සුරංගා ගුණතිලක, සහකාර දිස්ත්‍රික් ලේකම් නිලන්ති කුමාරි, දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම් ඩබ්.ඩබ්.එම්.ඩී. කුමාරි, මීරිගම ප්‍රාදේශීය ලේකම් ප්‍රසාද් ඉන්දික, ගම්පහ දිස්ත්‍රික් රාජ්‍ය නොවන සංවිධාන සම්බන්ධීකාරක නිලධාරිනී නිම්මි විජේසූරිය යන මහත්ම මහත්මීන් ඇතුළු රාජ්‍ය නිලධාරීහු එක්වුහ.