Spread the love

පසුගිය දින 02 තුළ පැවති අධික වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් (15) අද පෙරවරු 10.00 පමණ වනවිට රත්නපුර සහ කළුතර දිස්ත්‍රික්ක දෙකෙහි පුද්ගලයන් 2352 පීඩාවට පත්ව ඇතිබව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

ඉන් පුද්ගලයන් 1362කු ඥාති නිවාසවලට යොමු කර ඇති අතර අනෙකුත් පුද්ගලයන් සහන කඳවුරු වලට යොමුකර තිබේ.

කළු ගඟ සහ නිල් වලා ගඟ පිටාර ගැලීම හේතුවෙන් එම පුද්ගලයන් පීඩාවට පත්ව තිබේ.මේ අතර මේවන විට කුකුලේ ගඟෙහි වාන්දොරටු 02ක් අඩිය බැගින් විවෘත කර තිබේ.

පොල්ගොල්ල ජලාශයේ ද වාන්දොරටු 04ක් අඩි 02 බැගින් විවෘත කර ඇතිබව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

මේ අතර තවදුරටත් දිස්ත්‍රික්ක 06ක් සදහා නාය යෑමේ නිවේදන නිකුත් කර ඇතිබව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

කළුතර ,මහනුවර ,කෑගල්ල ,මාතර ,නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්ක සදහා නාය යෑමේ නිවේදන ක්‍රියාත්මක වෙයි.ඒ හේතුවෙන් එම ප්‍රදේශ වල නාය යෑමේ අවධානම් ප්‍රදේශ වල සිටින ජනතාව දැඩි අවධානයෙන් සිටිය යුතු බව එම සංවිධානය වැඩිදුරටත් සදහන් කරයි.