Spread the love

වන අලි හා මිනිස් ගැටුම්වලට ප්‍රධාන හේතුව මිනිසුන් අලිමංකඩවල පදිංචි වීම හා වගා කිරීම බැවින් ඉදිරියේදී ඒ සියල්ල නවතා අලිමංකඩ සියල්ල වන අලින්ට ගමන් කිරීමට සුදුසු පරිදි සකස් කිරීමේ වැඩ පිළිවෙළ ලබන වසරේ ඇරඹීමට තීරණය කර ඇතැයි කෘෂිකර්ම, වනජීවි හා වනසංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

අපේ රටේ දැනට වන අලින් හුවමාරුවන අලි මංකඩ 16ක් තිබෙන අතර මෙම අලිමංකඩ 16ම මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් තර්ජනයට ලක් ව තිබෙන බව වනජීවි දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.

මිනිසුන් අලිමංකඩවල අනවසරයෙන් පදිංචිවීම, නිවාස හා විවිධ ව්‍යාපාරික ස්ථාන ඉදි කිරීම මෙන්ම වගාව සඳහා යොදා ගැනීම නිසා වන අලින් ගම්වැදීමට මෙන්ම මිනිසුන්ට පහර දීමට එම කාරණයන් බලපා තිබේ.

මේ නිසා අලිමංකඩ සියල්ල නිදහස් කර නැවතත් වන අලින්ට ගමන් කිරීමට සුදුසු තත්ත්වයට පත් කිරීමේ වැඩ පිළිවෙල ලබන වසරේ මුල් මාසයේ සිට ම ආරම්භ කරන ලෙස කෘෂිකර්ම වනජීවි හා වනසංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශයට උපදෙස් දී තිබේ.

ඒ අනුව පළමු අදියර යටතේ වන අලි – මිනිස් ගැටුම් උග්‍රව පවතින අලිමංකඩ තුනක් නිදහස් කර ගැනීමට යෝජිතය.

අලිමංකඩ තුළ හෝ ආසන්නයේ අනවසරයෙන් පදිංචිව සිටින ජනතාව ඉන් ඉවත් කර ඔවුන්ට වගාවට හා පදිංචිවීමට සුදුසු ඉඩම් ලබා දීමත්, ඔවුන්ට යම්කිසි වන්දියක් ලබා දීමටත් රජය විසින් පියවර ගැනීමට නියමිතය.
අලිමංකඩ නිදහස් කර ගැනීම මගින් වන අලි- මිනිස් – ගැටුම්වලට යම් විසඳුමක් ලබා ගත හැකි වනු ඇත. මීට අමතරව තවත් ඒකාබද්ධ වැඩ සටහන් කිහිපයක් යෝජනා වී තිබේ. ඒවා අතර වනෝද්‍යානවලට ගවයින් නිදහස් කිරීම වැළැක්වීම, වනෝද්‍යාන තුළ ඇති අනවසර ගවගාල් ඉවත් කිරීම, විදුලි වැට ඉදි කිරීම හා ඒ ආශ්‍රිතව සමොධානික වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කිරීම, වැනි වැඩ සටහන් රැසක් ලබන වසර මුල සිට ආරම්භ කිරීමට පියවර ගන්නා බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

විශාල ජලාශ ඉදි කිරීමේ දී වන අලින්ගේ වාස භූමි නොසළකා හැර කටයුතු කිරීම මෙන්ම එහි දී වන අලින් ආරක්ෂා කර ගැනීම සඳහා යෝජනා වන තීරණ ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන් ද අලි – මිනිස් ගැටුම් ඉහල ගොස් තිබේ.