දේවින්ද පිණිදිය
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් නව වැඩපිළිවෙලක් යටතේ රාජ්‍ය ආයතන කාර්ය මණ්ඩල සහ එම පවුල්වල සාමාජිකයින්ගේ සුවතාවය වෙනුවෙන් පවත්වනු ලබන “ආරෝග්‍යා” ජංගම සුව සායන වැඩසටහනේ 04 වන වැඩසටහන අද (12) රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ සමස්ත කාර්ය මණ්ඩලය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්විණි.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ මඟපෙන්වීම මත හා සම්පත් දායකත්වයෙන් සුවපත් රටක් උදෙසා “Healthy Sri Lanka” යන තේමාව යටතේ පැවැති මෙම “ආරෝග්‍යා” ජංගම සුව සායනය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (ප්රවෘත්ති හා ප්‍රචාරණ) ලක්ෂ්මේන්ද්‍ර දමයන්ත්කුමාර තෙන්නකෝන් යන මහත්වරුන්ගේ සහභාගීත්වය සහ නිරීක්ෂණය යටතේ දිනය පුරා පැවැත්වීමට කටයුතු යොදා තිබුණි.
මෙම ජංගම සායනය තුළින් බටහිර වෛද්‍ය සායනය, අක්ෂි සායනය, දේහ ස්කන්ධ දර්ශකය පරීක්ෂා කිරීම, නිදර්ශක ලබා ගැනීම, රසායනාගාර සේවා, රුධිර පීඩනය මැනීම, දන්ත සායනය, රුධිර සීනි පරීක්ෂාව, කොලස්ටරෝල් පරීක්ෂාව, සුවනාරි සායනය, ආයුර්වේද වෛද්‍ය සායනය, මානසික උපදේශක සේවා, ඖෂධ ලබාදීම, සහ පෝෂණවේදී උපදෙස් ලබාදීම සහ නොමිලේ ඖෂධ ලබාදීමට ද සිදු කෙරුණ අතර, සායන සඳහා රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ සමස්ත කාර්ය මණ්ඩලය සහ එම කාර්ය මණ්ඩලයේ පවුල්වල සාමාජිකයින් ද විශාල පිරිසක් එක්ව සිටියහ.
සායනයෙන් හඳුනා ගනු ලබන රෝගීන් වැඩිදුර ප්‍රතිකාර සඳහා රජයේ රෝහල් වෙත යොමු කිරීමට කටයුතු යොදා තිබූ අතර, කොළඹ ජාතික රෝහල ඇතුළු අවට රෝහල්වල විශේෂඥ වෛද්‍ය, වෛද්‍ය, හෙද ඇතුළු කාර්ය මණ්ඩල සහභාගීත්වයෙන් මෙම ජංගම සෞඛ්‍ය සායනය අද දිනය පුරා සාර්ථකව පැවැත්වීමට කටයුතු යෙදුනි.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මගින් නව වැඩපිළිවෙලක් යටතේ ආරම්භ කරන ලද “ආරෝග්‍යා” ජංගම සුව සායන වැඩසටහන යටතේ පැවැති 04 වන වැඩසටහන මෙය වූ අතර, සුවපත් රටක් උදෙසා “Healthy Sri Lanka” යන තේමා පාඨය යටතේ මෙරට සියලු ජනතාවට ශාරීරික, මානසික නිරෝගි ජිවිතයක් ගත කිරිමට ප්රශස්ත සෞඛ්‍ය සෙවාවක් ලබාදීම සඳහා මෙම “ආරෝග්‍යා” ජංගම සුව සායන වැඩසටහන අඛණ්ඩව දියත් කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ උපදෙස් පරිදි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත.
