නිමල් රාජපක්ෂ-
නියඟය නිසා ඉදිරි මහ කන්නය අසාර්ථක වුවහොත් රටට ආහාර හිඟයක් ඇතිවීම් අවදානමක් ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි .
දැවැන්ත නියගයක් හා ආහාර හිඟයක් සම්බන්ධව මුලු ලෝකයම අනතුරු අඟවා තිබෙනවා. එහි ප්‍රතිපලයක් ලෙස ඉන්දීය රජය පසුගිය සතියේ සිට සහල් අපනයනය නවතා දැමුවා. අපේ රටට සහල් අවශ්‍ය වුවහොත් මිල දී ගත්තේ ඉන්දියාවෙන්. නමුත් දැන් ඉන්දියාව සහල් අපනයනය නවතා ඇති නිසා අපිට සහල් ලබා ගැනීමේ හැකියාවක් නැහැ. හැකියාව තිබුනත් සහල් ආනයනය කරන්න සල්ලිත් නැහැ.
ඒ වගේම අපේ රටේ ආහාර සංචිතයක් නැහැ. වී අලෙවි මණ්ඩලය විසින් වී මිල දී නොගත් නිසා හදිසි අවශ්‍යතාවයකට යොදා ගැනීමට වී තොග ද අප සතුව නැහැ. ඒ නිසා ඉදිරි කාලයේ රටේ මිනිස්සු ආහාර හිඟයට කොහොම මුහුණ දෙයිදැයි හිතාගන්නටවත් බැහැ.
ඇමතිවරයා මෙම අදහස් පලකලේ අඟුනකොලපැලැස්ස ප්‍රදේශයේ ග්‍රාම සේවා වසම් 10ක ක්‍රියාත්මක කර තිබෙන ගෙවතු වගා වැඩ සටහන තුළ ප්‍රතිලාභීන් 250කට අවශ්‍ය පැළ කට්ටල ලබා දීමේ වැඩ සටහනක් ඊයේ (29) අගුනකොළපැලැස්සේ දී පැවැති අවස්ථාවේදිය. . Outreach Guarantee පුද්ගලික ආයතනය විසින් ආරම්භ කර ඇති තිරසාර කෘෂිකාර්මික සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ග්‍රාම සේවා වසම් 10ක පවුල් සඳහා මෙම ගෙවතු වගා වැඩ සටහන ආරම්භ කර තිබේ.
මෙම වැඩසටහන මේ වනවිට අතිශය සාර්ථක ප්‍රතිපල ලබා දී තිබේ. තිරසාර කෘෂිකර්ම වැඩ සටහන මගින් ආරම්භ කළ එළවළු හා පලතුරු වගාවන් මෙන්ම කුකුළු පාලනය හා ගව පාලනය යටතේ ගොවි ජනතාවට ඔවුන්ගේ ජීවන තත්ත්වයන් ඉහළ නංවාලීමට හැකියාව ලැබී ඇත.
ඉදිරි මහ කන්නය අසාර්ථක වුවහොත් මේ රට තුළ දැඩි ආහාර හිඟයක් ඇතිවැය හැකියැයි ද ඒ සඳහා මුහුණ දීමට වගා කළ හැකි සෑම ස්ථානයකම කුමක් හෝ ආහාර බෝගයක් වගා කිරීමට පියවර ගන්නා ලෙසත් ඉල්ලා සිටියේය.
