Spread the love

මෙරටින් ප්‍රථම වරට රාජාංගනය ඇඹුල් කෙසෙල් උද්‍යානයෙන් කෙසෙල් කිලෝ 12500 ක් ඩුබායි වෙළද පොලට මේ මස 26 දින අපනයනය කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය ( Agriculture Sector Modernization Project – ASMP) මගින් දිවයින පුරා අරඹා ඇති කෘෂි ආදර්ශ උද්‍යාන Agri – Demonstration Park වැඩ පිළිවෙළ යටතේ වගා කර ඇති රාජංගනය ඇඹුලු කෙසෙල් උද්‍යානය මේ වනවිට ඉතාමත් සාර්ථක වී තිබේ.

නව කෘෂි තාක්ෂණය යොදා ගනිමින් වගා කර ඇති එම ආදර්ශ වගා උද්‍යානයෙන් විදේශ වෙළෙ ද පොලට අපනයනය කරනු ලබන පළමු ඇඹුල් කෙසෙල් තොගය මෙය වෙයි.

ශ්‍රී ලංකා ආර්ථිකය විදේශ විනිමය හිඟයෙන් පෙළෙමින් සීටින අවස්ථාවක විදේශ විනිමය ඉපයීම ඉළක්ක කර ගනිමින් වගා කර ඇති රාජංගනය ඇඹුල් කෙසෙල් ව්‍යාපෘතිය යටතේ අක්කර 200ක ක්‍රියාත්මක කර තිබේ.

කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය විසින් මේ සඳහා අවශ්‍ය මුල්‍ය ආධාර, නව තාක්ෂණික දැනුම, උපදෙස් හා පුහුණුව ගොවි ජනතාව වෙත ලබා දී තිබේ. ඇඹුල් කෙසෙල් වගාවේ දී ZigZag ක්‍රමයට පැළ රෝපණය කිරීම, බින්දු ජල තාක්ෂණය හා ඊට අවශ්‍ය උපකරණ ලබා දීම , කෙසෙල් වගාවට අමතරව වෙනත් බෝග වර්ග වගා කිරීම මෙන්ම ගොවි ජනතාවට ඉහළ ආදායමක් උපයා ගැනිම සඳහා ආපසු මිල දී ගැනීමේ වැඩ පිළිවෙළ යටතේ ව්‍යාපාරික ආයතන සම්බන්ධ කර දීම ද සිදු කර ඇත.

ශ්‍රී ලංකාවෙන් පළමු වරට විදේශ වෙළෙද පොලට අපනයනය කරනු ලබන ඇඹුල් කෙසෙල් තොගය වශයෙන් අඩි 40 කන්ටේරයක ඇඹුල් කෙසෙල් කිලෝග්‍රෑම් 12,500ක් මෙම මස 26 දින ඩුබායි වෙළෙද පොලට අපනයනය කිරීම සිදු කෙරේ.

ඉන්පසු සෑම සෙනසුරාදාවකම කිලෝග්‍රෑම් 12,500 බැගින් ඇඹුල් කෙසෙල් ඩුබායි වෙළෙද පොළට යැවීමට කටයුතු යොදා ඇතැයි කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ ආචාර්ය රොහාන් විජේකෝන් මහතා පවසයි.