නිමල් රාජපක්ෂ
උතුරු පළාතේ එකම හෙදියක්වත් නොමැති ප්‍රාදේශීය රෝහල් 33 ක් තිබෙන බවත්, ඉදිරියේ දී නව හෙද පත්වීම් ලබාදීමත් සමග එම අඩුව සපුරාලීමට කටයුතු කරන බව ද සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවේය.
එමෙන් ම වෛද්‍ය උපකරණ සහ ගිලන් රථ ඇතුළු රථවාහන අළුත්වැඩියා කටයුතු අංශයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය දුර්වල බවත්, ඉදිරියේ දී මිල අධික වෛද්‍ය උපකරණ හා ගිලන් රථ ඇතුළු වාහන ලබාදීමේ දී එම භෞතික සම්පත් අඛණ්ඩව පවත්වාගෙන යනු ලබන ආයතන සමඟ කළමනාකරණයට කටයුතු යොදන බවත් රෝහලේ ගිලන් රථ අවශ්‍යතාව සපුරාලන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසී ය.
ඇමතිවරයා එසේ පැවසුවේ නයිනතිව් ප්‍රාදේශීය රෝහලේ නව බාහිර රෝගී අංශ ගොඩනැගිල්ල ජනතා අයිතියට පත් කිරීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (12) පෙරවරුවේ සිදු කළ අවස්ථාවේදීය
මෙම ව්‍යාපෘතියේ ආරම්භකයින් වන්නේ වාසන් සිවාජිරාසන් මහතා සහ ජසින්තා මහත්මිය වන අතර, සම්පත්දායකයින් ලෙස ජර්මානු රතු කුරුස වරෙන්ඩොර්ෆ් ශාඛාව සහ ශ්‍රී ලංකා රතු කුරුස සංගමය කටයුතු කර ඇත.
නව බාහිර රෝගී අංශ ගොඩනැගිල්ල හදිසි අනතුරු ඒකකයක්, ඖෂධ ශාලාවක්, එන්නත් කාමරයක්, දන්ත ඒකකයක්, හෙද විවේකාගාරයක්, ඊ.සී.ජී ඒකකයක්, ශල්‍ය ඒකකයක්, ප්‍රාථමික සත්කාර ඒකකයක් මෙන් ම සනීපාරක්ෂක පහසුකම් වලින් ද යුක්තය.
සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස තමන් යාපන අර්ධත්වීපයට පැමිණි මුල්ම අවස්ථාව මෙය වන බවත්, එහිදි පැමිණි ප්‍රථම රෝහල නයිනතිවි රෝහල බවත් අමාත්‍යවරයා ප්‍රථමයෙන් සිහිපත් කළේය.
මෙවැනි ප්‍රාදේශීය සෞඛ්‍ය මධ්‍යස්ථාන රට පුරා ස්ථාපිත කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනයට පසුගිය මාස කිහිපය තුළ සවිස්තර සැලසුමක් සකස් කරමින් සිටින බව ද සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙහි දී පැවසී ය.
මෙරට සෞඛ්‍ය සේවාව පරිවර්තනයකට ලක් විය යුතු බවත් ලෝකයේ සෞඛ්‍ය සේවාවන් පරිවර්තනයට ලක්ව ඇති බව ද මෙහිදී සඳහන් කළ සෞඛ්‍ය අමාත්‍යවරයා සෞඛ්‍ය සේවාව ජනතාව කේන්ද්‍ර කර ගත යුතු බවත්, පැවතුනේ වෛද්‍යවරයා කේන්ද්‍ර කරගත් සෞඛ්‍ය සේවාවක් බව ද ජනතාව පුරුදුව තිබෙන්නේ දුර ගෙවා ගොස් ප්‍රතිකාර සේවා ලබා ගැනීමට බවත්, යාපනය රෝහලේ ද රෝගී තදබදයට එම තත්ත්වය හේතු වී ඇති බව ද පැවසී ය.
