කොළඹ හා ආසන්න ප්‍රදේශවල ත්‍රිරෝද රථ හිමියන් සහ බස් රථවල ගමන් ගන්නා මගීන් මත් කර මුදල් හා දේපළ කොල්ලකන කල්ලියක් ගැන පොලිසි රැසකින්ම වාර්තා වී ඇත.
මෙම කල්ලිය සංවිධානාත්මකව කුලීරථ හා පොදු ප්‍රවාහන සේවාවල නිරත වෙමින් මෙම කොල්ලකෑම් සිදුවන බවද වාර්තා වේ.
මෙම කල්ලියේ සොරකම් සහ කොල්ලකෑම් රැසක්ම වාර්තා වී ඇත්තේ කොළඹ, කැලණිය, මීගමුව, නුගේගොඩ, ගල්කිස්ස ඇතුළු පොලිස් කොට්ඨාස ආශ්රිත පොලිස් ස්ථාන වෙතය.
අඹු සැමියන් හෝ තනි පුද්ගලයන් වශයෙන් මහ මග රැඳී සිට කුලී ත්‍රිරෝද රථවලට ගොඩවීමත් පසුව ත්‍රිරෝද රථ රියැදුරු හා සුහද වී ඔවුනට මත්වන හෝ සිහිසුන් වන යමක් ලබාදී මුදල්, ජංගම දුරකතන කොල්ලකෑම් සිදුවන බවත් ඇතැමුන්ගේ ත්‍රිරෝද රථද කොල්ලකෑමට ලක්ව තිබෙන බවත් බස්නාහිර පළාතේ උසස් පොලිස් නිලධාරියකු සඳහන් කළේය.
එමෙන්ම දුර ගමන් සේවා බස් රථවලින් ගමන් ගන්නා මගීන් ද නින්ද ගොස් සිටින අවස්ථාවල සිහිසුන් කර ජංගම දුරකතන, මුදල් හා දේපළ කොල්ලකෑම් ගැනද පොලිස් ස්ථාන වෙත නිරන්තරයෙන් පැමිණිලි වාර්තා වන බවද එම නිලධාරියා කීවේය.
කොළඹ ජාතික රෝහලේ සෞඛ්‍ය සහායකයකු ලෙස කටයුතු කරන අයකුටද මේ වැනි ඉරණමකට පෙරේදා මුහුණ දීමට සිදුව තිබුණේ කහතුඩුව ප්‍රදේශයේදීය.
ඔහු සේවා මුරය නිම කර සිය ත්‍රිරෝද රථයෙන් කුලී රථ සේවාවේ නිරතව සිටියදී ගාලු මුවදොර පිටිය අසලින් පුද්ගලයකු කළුබෝවිලට යාමට අවශ්‍ය යැයි පවසා රථයට ගොඩ වී තිබේ.
එලෙස ගමන් ගත් පුද්ගලයා කළුබෝවිල රෝහල ආසන්නයේදී ත්‍රිරෝද රථයේ රියැදුරුගේ ගෙලට මන්නා පිහියක් තබා රියැදුරුගේ පසුම්බියේ තිබූ රුපියල් දෙදහසකට ආසන්න මුදල් සමගින් ත්‍රිරෝද රථයද කොල්ලකා පලාගොස් ඇත.
මේ සම්බන්ධයෙන් කහතුඩුව පොලිසියට පැමිණිල්ලක් ද කර ඇත.
සංවිධානාත්මකව මිනිසුන් සිහිසුන් කරමින් සිදුවන මෙවන් සොරකම් මැඩපැවත්වීම සඳහා නීතිය තදින්ම ක්‍රියාත්මක විය යුතු බව මහජනතාව ඉල්ලා සිටිති.
එමෙන්ම කොටහේන හා ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශවලදී ත්‍රිරෝද රථ දෙකක කුලී ගමන් සඳහා එක්වූ වයෝවෘද්ධ පුද්ගලයන් දෙදෙනකුට පානය කිරීමට දියරයක් ලබාදී ඔවුන් සතු මුදල් කොල්ලකෑමේ සිදුවීම් දෙකක් පසුගිය සතියේ වාර්තා වී තිබිණි.
මෙලෙස දියර පානය කළ වයෝවෘද්ධ පුද්ගලයන් දෙදෙනාගෙන් එක් අයකුට තවමත් සිහිකල්පනාව නොමැති බවත් එක් අයකුට සිහිය ඒමට දින දෙකක් ගතවී ඇති බවත් වාර්තා වේ.
එසේම ත්‍රිරෝද රථ හිමියකු දුන් දියරයක් පානය කළ මාවනැල්ලේ පුද්ගලයකු සිහිසුන්වීමේ සහ ඔහු පැලඳ සිටි රුපියල් එකොළොස් ලක්ෂයක් පමණ වටිනා රන් මාලයක් කොල්ලකෑමේ සිද්ධියක් ද පසුගිය සතියේ වාර්තා වූයේ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයෙනි.
