Spread the love

නිමල් රාජපක්ෂ

ශ්‍රී ලංකා නාවික හමුදාව, කල්පිටිය කන්දක්කුලිය මුහුදු ප්‍රදේශයේ 2026 ජනවාරි මස 12 වැනි දින සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධි ලෙස රට තුලට ගෙන ඒමට උත්සාහ කල ඖෂධ පෙති එක්ලක්‍ෂ අටදහස් හාරසිය අසූවක (108,480) පමණ තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

ඒ අනුව, උතරු මැද නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනයට අයත් කන්දක්කුලිය නාවික අනුඛණ්ඩය මඟින් කන්දක්කුලිය මුහුදු ප්‍රදේශයේ සිදුකල මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී, එම මුහුදු ප්‍රදේශයේ අතහැර දමා තිබූ උර දෙකක් (02) පරීක්‍ෂාවට ලක් කෙරිණි. එහිදී, නීති විරෝධි ලෙස රටතුලට රැගෙන ඒමට උත්සහ කර, නාවික හමුදා මෙහෙයුම් හමුවේ ජාවාරම් කරුවන් විසින් අතහැර දමා යන ලද ඖෂධ පෙති එක්ලක්‍ෂ අටදහස් හාරසිය අසූවක (108,480) පමණ තොගයක් මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් ඖෂධ පෙති තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා කටුනායක රේගු නිවාරණ කාර්යාලය වෙත භාරදීමට කටයුතු කෙරිණි.

තවද, ගෙවීගිය 2025 වර්ෂයේදී නාවික හමුදාව සිදුකල මෙහෙයුම් මඟින් නීති විරෝධි ලෙස රටතුලට රැගෙන ඒමට උත්සාහ කල ඖෂධ පෙති දහසය ලක්‍ෂ අසූතුන්දහස් හත්සිය විසිදෙකක (1,683,722) තොගයක් නාවික හමුදා භාරයට ගෙන ඉදිරි නීතිමය කටයුතු සඳහා යොමු කර ඇති අතර, සාගරය ඔස්සේ සිදුකෙරෙණ මෙවැනි ජාවාරම් ඇතුළු නීති විරෝධි කටයුතු මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව අඛණ්ඩව දායක වෙයි.