Spread the love


මහජන ඡන්දයෙන් බලය ලබාගත නොහැකි කුමන්ත්‍රණකරුවන් පිරිසක් ජනතාව පාරට බස්සවා රට නැවත ආපස්සට හැරවීමට උත්සාහ ගන්නා බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.
මේ මොහොතේ පක්ෂ දේශපාලනය පැත්තකට දමා රට වෙනුවෙන් එකට එක්ව කටයුතු කළ යුතු බවද ඔහු සඳහන් කළේය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට වසර හයක් පිරීම නිමිත්තෙන් බත්තරමුල්ල, නෙළුම්මාවතේ පිහිටි පක්ෂ මූලස්ථානයේදී ඊයේ (2) පැවැත්වූ සර්ව රාත්‍රික පිරිත් දේශනාවට සහභාගී‍වීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේබව සඳහන් කළේය.
එහිදී අමාත්‍යවරයා මෙසේද පැවසීය.
පසුගිය කාලයේ රට මුහුණ දුන් ගැටළු දැන් එකින් එක විසඳෙනවා. පසුගිය මාසයේදී සංවාරකයන්ගේ පැමිණීම වැඩියි. සංචාරක පැමිණීම වැඩිවෙනකොට රටේ ආර්ථිකය ශක්තිමත් වෙනවා. මේ රට කාබාසිනියා වෙනකම් බලාගෙන ඉන්න පිරිසට මේව දරාගන්න බැහැ. ඒ පිරිස බලන්නෙ කොහොම හරි ඉදිරියට යන රට නැවත ආපසු හරවන්නයි.
මිනිසුන්ව කුලප්පු කරල පාරට බැස්සුවට ප්‍රශ්නවලට උත්තර ලැබෙන්නේ නෑ. හැබැයි යම්කිසි දේශපාලන පක්ෂ කිහිපයක් කරන්නේ මිනිස්සු කුලප්පු කරවන එකයි. ඔවුන්ට රට වෙනුවෙන් වගකීමක් ගන්න කිව්වම ඒකට බයයි. මේ උද්ඝෝෂණ දකින කොට සංචාරක පැමිණීම අඩු වෙනවා. එතකොට රටේ ආර්ථිකය කඩාගෙන වැටෙනවා. කොවිඩ් වසංගතයෙන් පස්සේ ඇතිවුන ආර්ථික ප්‍රශ්න අපි කාටත් දරාගන්න බැරිවුණා. කවදාවත් මහජන ඡන්දයක් දිනාගන්න බැරි යම් කල්ලියක් ඒ ජනතා පීඩනය ඔවුන්ගේ වාසියට යොදා ගත්තා. ඒ කල්ලිය තවමත් කරන්නෙ මිනිස්සු කුලප්පු කරවල පාරට බස්සන එකයි.
මේ මොහොතේ පක්ෂ දේශපාලනය පැත්තකට දාල රට ගැන හිතල වැඩ කරන්න ඕන. දැන් කරන්න ඕන වැටුණු තැනින් රට ගොඩ ගැනීමට සහය දීමයි. එහෙම නැතුව කකුල් මාට්ටු දාල ඉදිරියට යන ගමන වළක්වන එක නෙමෙයි.
ඔය අරගලකරුවන් යැයි කියාගන්නා කුමන්ත්‍රණකරුවන් හිතුවෙ මැයි 9 වැනිදා අපේ ගෙවල් ගිනි තිව්වම අපේ දේශපාලන ගමන වගේම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන ගමනත් ඉවරයි කියලයි. ගෙවල් ගිනි තියල, මඩ ගහල අපේ දේශපාලනය නවත්වන්න බැහැ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කියන්නේ වැටුණම හිටියටත් වඩා ශක්තිමත්ව නැගිටින දේශපාලන පක්ෂයක්. ඒ නැගිටීම කිසිවෙක්ට නවත්වන්න බැහැ යැයිද අමාත්‍යවරයා සඳහන් කළේය