Spread the love

කන්දකාඩු පුනරුත්ථාපන කඳවුර තුළ පසුගියදා ඇතිවූ ගැටුම අතරතුර පළාගිය රැඳවුවන් 13 දෙනෙකු තවමත් යළි භාරවී නොමැති බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක, බ්‍රිගේඩියර් රවී හේරත් මහතා පවසයි.

මතට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කෙරෙන කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ පසුගිය 06 වනදා රාත්‍රීයේ ඇතිවූ ගැටුම්කාරි තත්ත්වයක් අතරතුර රැඳවූවන් 50ත් 100ත් අතර පිරිසක් කඳවුරෙන් පළාගොස් තිබුණි.

යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රවී හේරත් මහතා පැවසුවේ ගැටුමෙන් පසු මේ දක්වා රැඳවුවන් 301 දෙනෙකු යළි පුනරුත්ථාපනය සඳහා යොමු කර ඇති බවය.

ගැටුමට සම්බන්ධ වූ රැඳවුවන් 215 දෙනෙකු එළඹෙන 17 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

එමෙන්ම ගැටුම අතරතුර පළාගොස් යළි භාරවූ රැඳවුවන් 14 දෙනෙකු පුලතිසිපුර සහ සේරුනුවර පොලිස් ස්ථානවල සිටින බවත්, තුවාල ලැබු 04 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවත් බ්‍රිගේඩියර් රවී හේරත් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

කෙසේවෙතත් පළාගිය රැඳවුවන් 13 දෙනෙකු තවමත් යළි භාරවී නොමැත.

මේ අතර කන්දකාඩු පුනරුත්ථාපන කඳවුරු තුළ විටින්විට ඇතිවන මෙවැනි තත්ත්වයන් පිළිබඳ ‘අද දෙරණ BIG FOCUS’ වැඩසටහනට එක්වෙමින් පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල්, මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේ,

“නාන තැන බාල්දියක් වැදිලා බොහොම සුළු ප්‍රශ්නයක් වුණේ. පස්සේ පිල් දෙකකට බෙදිලා ගහගන්න ගත්තා. කාර්ය මණ්ඩලයටත් ගහන්න ගත්තා. මෙතන ඉන්නවා යුද හමුදාවෙන් පැනලා ගිහින් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වෙලා පුනරුත්ථාපනයට ආපු අය. අවි ආයුධ පරිහරණය කරන්න ඒ අය දන්නවා. ඒ අය උත්සාහ කළා අවි ගබඩාවට පහරදෙන්න. ඒ උත්සාහ කළ කෙනාගේ දණහිසෙන් පහළට වෙඩි තියන්න සිදුවුණා.  අම්මගේ බෙල්ලට පිහිය තියපු අය මෙතන ඉන්නවා. ඒ වගේ මනසක් තියෙන පුද්ගලයින් ඉන්නේ.”