Spread the love

ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක , සුරාබදු කොමසාරිස් (නීති ක්‍රියාත්මක කිරීම් හා සමාජ ආරක්ෂණ) ලෙස කටයුතු කරන කපිල කුමාරසිංහ මහතා හට පිලිපීනයේ යුනිවර්සිඩාඩ් ඕල්ඩර්ස්ගේට් (ඕල්ඩර්ස්ගේට් කොලේජ්) මගින් ආචාර්ය උපාධියක් පිරිනමා ඇත.

ඒ මහතා ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආදායම් කළමනාකරණ ක්ෂේත්‍රයේ සේවකයන්ගේ ආයතනික කැපවීම පිලිබඳව වසර පහක කාලසීමාවක් පුරා සිදුකරන ලද පර්යේෂණයක් පදනම් කරගත් පර්යේෂණ නිබන්ධනය වෙනුවෙන් මෙම ආචාර්ය උපාධිය පිරිනැමිණ.

මෙම ආචාර්ය උපාධි ප්‍රදානෝත්සවය පසුගිය 2 වැනි බදාදා බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි.
ආචාර්ය කපිල කුමාරසිංහ මහතා කොළඹ ආනන්ද මහා විද්‍යාලයේ ආදී ශිෂ්‍යයෙකු වන අතර, කැලණිය, ශ්‍රී ජයවර්ධනපුර, හා රජරට විශ්ව විද්‍යාලය යන දේශීය විශ්ව විද්‍යාලවලින් සහ එක්සත් රාජධානියේ බකින්හම්ෂයර් නව විශ්ව විද්‍යාලය වෙතින් නීතිය, කළමනාකරණය, සමාජ විද්‍යාව, අපරාධ විද්‍යාව, ආර්ථික විද්‍යාව හා ජන සන්නිවේදනය යන විෂයයන්ගෙන් සිය ප්‍රථම හා පශ්චාත් උපාධි ගණනාවක් හිමිකරගෙන ඇත.

මීට අමතරව ඒ මහතා ඕස්ට්‍රේලියාවේ සිඩ්නි හා කැන්බරා විශ්වවිද්‍යාල, ඇමෙරිකාවේ ජෝර්ජියා විශ්වවිද්‍යාලය, නෙදර්ලන්තයේ මස්ට්‍රිච් කළමණාකරන විද්‍යාලය හා මැලේසියාවේ විවෘත විශ්ව විද්‍යාලය වෙතින් ද පාඨමාලා හදාරා ඇත.

දිවයිනේ දකුණු, නැගෙනහිර, බස්නාහිර, ඌව හා වයඹ යන පළාත්වල සුරාබදු ස්ථානාධිපති, සුරාබදු අධිකාරී, සහකාර සුරාබදු කොමසාරිස්, හා නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් වශයෙන් සේවය කර ඇති ඒ මහතා රාජ්‍ය සේවයේ වසර 36 ක දීර්ඝ සේවා ඉතිහාසයක් ඇති නිලධාරියෙකි.

වසර හතක පමණ කාලසීමාවක් පුරා ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස කටයුතු කරන ඒ මහතා සුරාබදු විධායක නිලධාරීන්ගේ සංගමයේ වර්තමාන සභාපතිවරයා ද වෙයි. තවද, හෙතෙම ඉදිරියේදී හඳුන්වාදීමට නියමිත නව සුරාබදු පනත පිලිබඳ දෙපාර්තමේන්තු කමිටුවේ සභාපතිවරයා ද වෙයි.

2016 වසරේ සිට මේ දක්වා හෙතෙම අවස්ථාවන් හතකදී විවිධ ජාත්‍යන්තර සමුළු හා සම්මන්ත්‍රණ වලදී ශ්‍රී ලංකාව නියෝජනය කර ඇත.
මද්‍යාසාර හා දුම්කොළ නිෂ්පාදන පිලිබඳ සමස්ත නියාමන කටයුතු සිදුකරනු ලබන සුරාබදු දෙපාර්තමේන්තුවේ තාක්ෂණික කටයුතු පිලිබඳ විශේෂඥයෙකු වන ඒ මහතා සුරාබදු නිලධාරීන්ගේ දැනුම වර්ධනය කිරීම සඳහා මේ වන විට ග්‍රන්ථ 9ක් ප්‍රකාශයට පත් කොට ඇත.