Spread the love

පෙරේදා (30)මධ්‍යම රාත්‍රියේ සිට ගාල්ල දිස්ත්‍රික්කයට සහ ගිංගඟේ ඉහළ පෝෂක ප්‍රදේශ වලට ඇදහැලෙන මහ වැසි හේතුවෙන් ගිංගඟේ ජලමට්ටම ඉහළ යමින් ඇතිබව ගාල්ල ගිංගඟ භාර වාරිමාර්ග ඉංජිනේරු කාර්යාලය පවසයි.

පවතින වැසි සහිත කාලගුණ තත්වය තවදුරටත් පැවතුනහොත් ගඟ දෙපස ජනතාව දැඩි විමසිල්ලෙන් සිටීම ඉතා වැදගත් බව එම කාර්යාලය සදහන් කරයි.මේ අතර පවතින අධික වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් ගිංගඟේ අතුරු ඇල මාර්ග පිටාර ගලමින් පවතියි.

ඒ හේතුවෙන් අවට පහත් බිම් සහ අතුරු මාර්ග ජලයෙන් යටවී තිබේ.පවතින වැසි සහිත කාලගුණ තත්වය සමඟ නාය යෑමේ අවධානම් පවතින බවට හදුනා ගෙන ඇති ප්‍රදේශ ආශ්‍රිත ජනතාව දැඩි අවධානයෙන් පසුවිම ඉතා වැදගත් බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ගාල්ල දිස්ත්‍රික් කාර්යාලය පවසයි.

මේ මොහොතේ හැකිතාක් ආරක්ෂිත ප්‍රදේශ වලට යාම වැදගත් බව සදහන් කරයි.පවතින වැසි සමඟ බෙන්තර ගඟේ සහ මාදු ගගේ ජලමට්ටම ද ඉහළගොස් තිබේ.මේ අතර අද(02) පෙරවරු 06.00 අවසන් වූ පැය 24 තුළ ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට 100mm ඉක්මවූ වැසි ලැබි ඇතිබව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ගාල්ල දිස්ත්‍රික් කාර්යාලය පවසයි.

ඒ හේතුවෙන් ප්‍රදේශ රැසක පස් කදු කඩා වැටිම් වාර්තා වෙයි.පවතින අකුණු ගැසීම් සහ තද සුළං හේතුවෙන් ජාතික විදුලි පද්ධතිය මතට ගස් කඩා වැටීම හේතුවෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට අලුයම සිට විදුලිය විසන්ධි වී තිබේ

විදුලි සැපයුම යථා තත්ත්වයට පත්කිරීමේ කටයුතු මේවන විට ක්‍රියාත්මක බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.පවතින අයහපත් කාලගුණ තත්ත්වය ඊට බාධාවක් බව වැඩිදුරටත් එම මණ්ඩලය සදහන් කරයි