Spread the love

කැලණිය විශ්වවිද්‍යාලයේ සිසුන් දෙපිරිසක් අතර පසුගියදා ඇතිවූ ගැටුම පිටුපස දේශපාලන කණ්ඩායම් සිටින බවට කැලණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය චෝදනා කරයි.

කෙසේ වෙතත් අදාළ පහරදීමට කැලණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය වගකිවයුතු බව පහරකෑමට ලක්වූ සිසුන් වෙනුවෙන් පෙනී සිටි විශ්වවිද්‍යාල ආදි විද්‍යාර්ථි ක්‍රියාකාරී මධ්‍යස්ථානය අද (05) පැවති මාධ්‍ය හමුවකදී චෝදනා කළේය.

පසුගිය ඔක්තෝබර් 31 වනදා කැලණිය විශ්වවිද්‍යාලයේ ආපනශාලාවේ දී නවක වධ සිද්ධියක් සම්බන්ධයෙන් ඇතිවූ මත ගැටුමක් හේතුවෙන් සිසුන් දෙපිරිසක් අතර ගැටුමක් සිදුවී තිබේ.

කළමනාකරණ පීඨයේ ගණකාධිකරණ අධ්‍යනාංශයේ දෙවන වසර ඉගෙනුම ලබන ශිෂ්‍යයෙකුට සහ ඔහු සමග සබඳතා පැවැත්වූ තෙවැනි වසර සිසුන් කිහිපදෙනෙකුට මෙලෙස පහරදී ඇති බව වාර්තා විය.

පසුව අදාළ ශිෂ්‍යයා එදින පස්වරු 8.30ට පමණ කිරිබත්ගොඩ පොලීසියට ගොස් තමන්ට පහරදීමක් සිදුවූ බව පවසා පැමිණිල්ලක් සිදුකර තිබේ.

එල්ල වන චෝදනා සම්බන්ධයෙන් කැලණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති කැලුම් මුදන්නායක අද ප්‍රතිචාර දැක්විය.

“ඒ අවස්ථාවේදී ඒ තෙවන වසරේ සිසුවට දුරකථන ඇමතුමක් ලැබෙනවා. ඒ දුරකථන ඇමතුමේදී ඔහුගෙන් විමසන්නේ කැලණිය විශ්වවිද්‍යාලය තුළ එදා දවසේ සිදුවෙච්ච සිදුවීම ගැන. එතකොට අපි පිළිගන්නේ.. දේශපාලන පක්ෂයක නියෝජිතයෙක් තමා මේ කතා කළේ. ඔහුගේ ඡංගම දුරකථනය සම්බන්ධයෙන් වට්ස්ඇප් ගිණුම් ගණනාවක් පිළිබඳ අනාවරණය වුණා. දේශපාලන සංවිධානයක් නියෝජනය කරන බාහිර පාර්ශ්වයන් තමයි මේ වට්ස්ඇප් ගිණුම් තුළ ඇඩ්මින්ලා විදිහට ඉන්නේ. මේ සිදුවීම ශිෂ්‍ය ව්‍යාපාරය තුළ සිදුවූ දැවැන්තම පාවාදීමක්. තොරතුරු පිට දේශපාලන සංවිධානවලට ලබාදුන්නා කියලා ඔහු පිළිගත්තා.”

අදාළ සිදුවීම සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල ආදි විද්‍යාර්ථී ක්‍රියාකාරී මධ්‍යස්ථානය ද මාධ්‍ය හමුවක් පවත්වමින් අදහස් පළ කළේය.

එහිදී කැලණිය විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ හිටපු සභාපති අනුරාධ නුවන් පැවසුවේ මහා ශිෂ්‍ය සංගමයේ මැදිහත්වීමෙන් මෙය සිදුවී ඇති බවය.

“ඒ කියන්නේ මහා ශිෂ්‍ය සංගමයේ මැදිහත්වීමෙන් මේ දේ සිදුවෙලා තියෙන්නේ. කන්වලට ලේ බැහැලා, කම්මුල් ඉදිමිලා. ශාරීරික හිංසනයන්ට මහා ශිෂ්‍ය සංගමය වගකිව යුතුයි. විශ්වවිද්‍යාල පරිපාලනයටත් වගකීමක් තිබෙනවා. දින එකහමාරක් ශිෂ්‍යයන් රඳවාගෙන. සාර්ථක විමර්ශනයක් තවම සිදුව නැහැ.”

මේ අතර අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයත් අද කොළඹදී මෙම සිදුවීම සම්බන්ධයෙන් අදහස් පළකර තිබුණි.

එහිදී අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ වැඩබලන කැඳවුම්කරු ටෙරන්ස් රොද්‍රිගෝ පැවසුවේ මෙය ශිෂ්‍ය ව්‍යාපාරයට එල්ල කළ මඩ ප්‍රහාරයක් බවය.

“ශිෂ්‍ය ව්‍යාපාරයට මඩ ප්‍රහාරක් මේක. ඒ ශිෂ්‍යයන් රෝහල්ගත වුණේ ඇයි කියලා දන්නේ නැහැ. ඒ සහෝදරවරු ගෙවල්වල යනවා කියලා ගිහින් තියෙන්නේ. ආණ්ඩුවේ ඔත්තුකරුවන් විශ්වවිද්‍යාල තුළට එනවා. කවුද මේකට මැදිහත්වෙන්නේ ? මේ යාන්ත්‍රණය පිළිබඳ ගැටලුවක් තිබෙනවා. පාවාදීම් සිදුකරන්න මුදල් ලැබෙනවා ද?.”