Spread the love

නිමල් රාජපක්ෂ-

ප්‍රංශ රජයේ සහන ණය යෝජනා ක්‍රමය යටතේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ පශු සම්පත් සංවර්ධන අංශය විසින් කුඩා පරිමාණ කිරි සැකසුම් කර්මාන්තශාලා 06ක් ස්ථාපිත කිරීමට නියමිතය. ඉන් පළමුවැන්න අද (04) දින වාරියපොළ මින්හෙට්ටිය ප්‍රදේශයේ දී විවෘත කෙරිණි. කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම කිරි සැකසුම් මධ්‍යස්ථානය විවෘත වූ අතර, එම අවස්ථාවට පශු සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.බී.හේරත්, ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති Jean Franchois Peatet, කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගී වූහ.

මෙම කර්මාන්තශාලාව සඳහා වැය කර තිබෙන මුදල රුපියල් මිලියන 800කි. දෛනිකව කිරි ලීටර් 40,000ක් මෙම කුඩා කිරි සැකසුම් කර්මාන්තශාලාව තුළ දියර කිරි ලෙස සැකසෙන අතර, ගොවීන් 4200ක් දෛනිකව අවශ්‍ය කිරි මෙම කර්මාන්තශාලාවට සපයනු ලබති. ගොවීන්ගෙන් කිරි ලීටරයක් රුපියල් 140ක් බැගින් මෙම කර්මාන්තශාලාව විසින් මිලදී ගනු ලබයි. එමෙන්ම මෙමඟින් ගොවිජනතාවට ප්‍රතිලාභ වශයෙන් හිමිවන මුදල දෛනිකව රුපියල් මිලියන 4.2කි.

මෙම කිරි සැපයුම් කර්මාන්තශාලාව මඟින් නිපදවනු ලබන දියර කිරි, පාසල් දරුවන්ට කිරි ලබා දීමේ ව්‍යාපෘතියට සම්බන්ධ වන අතර, මෙරට දියර කිරි භාවිතය ප්‍රචලිත කිරීම සඳහා ඉවහල් වනු ඇතැයි මෙම අවස්ථාවට සහභාගී වෙමින් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.