Spread the love

නිමල් රාජපක්ෂ

ජාතික රෝහලේ, විකලාංග අංශයේ දැනට නවීන තාක්ෂණය භාවිතයෙන් ඉතා සාර්ථකව ක්‍රියාත්මක වන කෘත්‍රීම පාද නිර්මාණය කිරීමේ නියමු ව්‍යාපෘතිය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පසුගියදා සිය නිරීක්ෂණයට ලක් කරන ලදි.

මෙම නිරීක්ෂණ අවස්ථාවට මානුෂීය බලගැන්වීමේ ආයතනයේ සභාපති වෛද්‍ය සුරෙනයිඩූ නයිකන් (Dr. Surennaidoo Naiken) සහ සම නිර්මාතෘ කැටරිනා නයිකන් (Kateryna NAIKEN) යන මහත්ම මහත්මීන් ද එක්විය.

ස්විස්ටර්ලන්තයේ මානුෂීය බලගැන්වීමේ ආයතනයේ (Humanitarian for empowerment) ‍අනුග්‍රාහකත්වයෙන් ක්‍රියාත්මක වන මෙම නියමු ව්‍යාපෘතිය මඟින් ශ්‍රී ලංකාවේ දී අති නවීන තාක්ෂණය යොදා ගනිමින් කෘතිම පාද නිර්මාණය කරනු ලබයි.

මානුෂීය බලගැන්වීමේ ආයතනය (Humanitarian for empowerment) ක්‍රියාත්මක කරනු ලබන කෘතිම පාද නිර්මාණය කිරීමේ නියමු ව්‍යාපෘතියට අදාළ ඉදිරි කටයුතු සඳහා වන අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සහ මානුෂීය බලගැන්වීමේ ආයතනයේ සභාපති වෛද්‍ය සුරෙනයිඩූ නයිකන් (Dr. Surennaidoo Naiken) යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් අද (22) පෙරවරුවේ සිදු කෙරිණි.

Humanitarian For Empowerment සංගමය යනු ස්වාධීන ලාභ නොලබන මානුෂීය සංගමයක් වන අතර එය සෞඛ්‍යය, අධ්‍යාපන ක්ෂේත්‍රවල විශේෂඥ පුහුණුව, සුදුසුකම් සහ අධීක්ෂණය හරහා ලොව පුරා අවශ්‍යතා ඇති ජනතාව බලගැන්වීම ප්‍රවර්ධනය කිරීම අරමුණු කරගෙන ක්‍රියාත්මක වේ.