Spread the love


මහ කන්නයේ දී වී වගාව හා අනෙකුත් වගාවන් සඳහා අවශ්‍ය වන කෘමිනාශක හා වල්නාශක දිවයින පුරා පිහිටි ගොවි ජන සේවා මධ්‍යස්ථාන ඔස්සේ බෙදා හැරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය සැළසුම් කර ඇත.
ගොවි නියෝජිතයින් සමග කළ සාකච්ඡාවක දී ඔවුන් විසින් මේ සඳහා එකඟත්වය පළ කරනු ලැබීය.
මේ සම්බන්ධව කෘමිනාශක හා වල්නාශක බෙදා හරින සියලුම පුද්ගලික සමාගම් සමග කෘෂිකර්ම, වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා සාකච්ඡා කළ අතර එම සමාගම් එම වැඩ පිළීවෙළ සඳහා එකඟත්වය පළ කළහ.
දැනට වෙළෙඳ පොලේ කෘමිනාශක හා වල් නාශක ඉතා ඉහළ මිල ගණන්වලට අලෙවි කරන බැවින් එම තත්ත්වය වළක්වා ගොවින්ට යම්කිසි අවම මිලකට ඒවා මිල දී ගැනීමට පහසුකම් සැළසීම සඳහා මෙම පියවර ගන්නා බව අමාත්‍යවරයා පැවසීය.
ඒ අනුව ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් වී හා අනෙකුත් වගාවන්ට අවශ්‍ය කෘමිනාශක හා වල් නාශක ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුව සතු මුදල්වලින් අත්පිට මුදලට පුද්ගලික අංශයෙන් මිල දී ගන්නා අතර , එම සමාගම්වලින් ලබා දෙන වට්ටම අනුව ඊට වඩා සියයට 05ක හෝ 06ක මිල අඩු කිරීමක් යටතේ ගොවි ජනතාවට ලබා දීමට නියමිතය.
ගොවීන්ට අවශ්‍ය කෘමිනාශක හා වල් නාශක දිවයින පුරා ඇති 566ක් පමණ වන ගොවි ජන සංවර්ධන මධ්‍යස්ථාන මගින් මිල දී ගැනිමට පිළිවන.
අලෙවියෙන් ලබන ලාබයෙන් කොටසක් අදාල ගොවි සංවිධාන වෙත ලබා දීමට නියමිතය.
ගොවි සංවිධාන ලෙස ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුව පිලිගනු ලබන්නේ එම දෙපාර්තමේන්තුව යටතේ ලියාපදිංචිව සිටින ගොවි සංවිධාන පමණි. එසේ නොමැතිව එක් එක් දේශපාලන පක්ෂ විසින් අටවා ගෙන ඇති ඊනියා ගොවි සංවිධාන හෝ නියෝජිතයින් ගොවි සංවිධාන ලෙස පිළිනොගන්නා ලෙස කෘෂිකර්ම
අමාත්‍ය මහින්ද අමරවීර මහතා ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුවට උපදෙස් දුන්නේය.
වල් නාශක හා කෘමිනාශක ගොවි ජන සේවා මධ්‍යස්ථාන ඔස්සේ බෙදා හැරීමේ වැඩපිළිවෙළ සතියක් හෝ දෙකක් වැනි කෙටි කාලයක් තුළ කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙස අමාත්‍යවරයා ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුවට උපදෙස් දුන්නේය.