Spread the love


බහලු මෙහෙයුම් වරායක් ලෙස ක්‍රියාත්මක වන කොලඹ වරාය හරිත වරායක් ලෙස පරිවර්තනය කිරීමට චීනයේ ටියැංජිං වරායේ සහය ලබා දීමට කැමැත්ත පල කර ඇත..
ලෝකයේ 9 වන වරාය ලෙස ශ්‍රේණිගත වන ටියැංජිං වරායෙහි සභාපති චූ බින් (Chu Bin ) මහතා ඇතුළු නියෝජිත කණ්ඩායමක් වරාය හා නාවික අමාත්‍යංශයේදී අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා හමු වු අවස්ථාවේදී ඔවුන් මෙම අදහස් පල කරන ලදී.
ලෝකයේ දැනට ක්‍රියාත්මක වන විශාල වරායන් තුල කාබන්ඩයොක්සයිඩ් වායුව අවම කිරීමේ ක්‍රියාවලිය හෙවත් හරිත වරායන් බවට පත් කිරීමේ ව්‍යාපෘතීන් ක්‍රියාත්මක කරමින් සිටි.
දැනට ලෝකයේ සිදු වන දේශගුණික හා කාලගුණික වෙනස් වීම් වලින් හට ගන්නා ස්වාභාවික විපත් වලට හේතුව වී ඇත්තේ ලොව තුල සිදු වෙමින් පවතින දරා ගත නොහැකි කාර්මීකරණය හා ඒ හේතුවෙන් වායු ගෝලය වෙත මුදා හැරෙන කාබන්ඩයොක්සයිඩ් වායු හේතුවෙන් සිදු වන වායූ ගෝලීය උණුසුම ඉහල යාම බව විද්‍යාත්මකව තහවුරු කොට ඇත. ඒ අනුව දැනට භාවිතා කරන පොසිල ඉන්ධන භාවිතය අවම කරමින් ඒ සඳහා ඇමෝනියා සහිත ඉන්ධන භාවිතය යෝජනා කර ඇත.
ලෝකයේ කාර්මීකරණයෙන් හා වරාය මෙහෙයුම් වලින් ඉහලම ස්ථානයක සිටින ලොව ඉතා ප්‍රමුඛ කාර්යබහුල වරායන් හිමි චීනය සිය “හරිත වරාය සංකල්පය ” ක්‍රියාත්මක කිරීමේදී ලබා ගත් එම අත්දැකීම් සහෝදර වරායන් වෙත ලබාදීමේ පියවරක් ලෙස චීනයේ ටියැංජිං වරායේ සහය මෙලෙස කොළඹ වරාය වෙත ලබා දීම අමාත්‍යතුමාගේ ප්‍රශංසාවට ලක් විය.
මෙම සාකච්ඡාවේදී ගාල්ල වරා‍ය ඉදිරි සංවර්ධන කටයුතු සඳහා දායක වීමටද නියෝජිත කණ්ඩායමේ අවධානය යොමු විය. එමෙන්ම දැනට යෝජිත උතුරු වරාය සංවර්ධනය සඳහා ද සිය උපරිම දායකත්වය ලබා දීමටත් නියෝජිත කණ්ඩායමේ කැමැත්ත පල විය.