Spread the love

ගාල්ල දිස්ත්‍රික්කයට සහ ගිං ගඟෙහි ඉහළ පෝෂක ප්‍රදේශ වලට පසුගිය දින 02 තුළ ඇදහැලුණ මහ වැසි හේතුවෙන් ගිංගඟ බද්දේගම ප්‍රදේශයෙන් සුළු ගංවතුර මට්ටම ඉක්මවාගොස් ඇතිබව ගාල්ල ගිංගඟ භාර වාරිමාර්ග ඉංජිනේරු පියුමි රසාන්ජලි මහත්මිය පැවසූවාය.
ඒ අනුව පෙරවරු 10.00 වනවිට බද්දේගම ඉදිගස්කැටිය ජලමාපකයට අනුව ගඟෙහි ජලමට්ටම මීටර් 04.04 දක්වා ඉහළ තිබේ.


එම ප්‍රදේශයේ ගඟෙහි සුළු ගංවතුර මට්ටම මීටර් 04.00 බව සදහන් කළාය.පැයකට බද්දේගම ප්‍රදේශයෙන් සෙන්ටිමීටර 04 පමණ ජලමට්ටම ඉහළ යමින් පවතියි.
මේ අතර ගිංගඟ පිටාර ගැලීම හේතුවෙන් මේවන විට බද්දේගම ප්‍රදේශයේ මාර්ග කිහිපයක් ජලයෙන් යටවී ඇතිබව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ගාල්ල දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ කර්නල් ප්‍රසාද් කරුණාරත්න මහතා පැවසීය.

බද්දේගම පරණ පොලිසිය මාර්ගය ,බද්දේගම දොඩංගොඩ හරහා ගාල්ල ප්‍රධාන මාර්ගය ස්ථාන කිහිපයකින් ජලයෙන් යටවී ගමනා ගමනයට බාධා එල්ලවී තිබේ.නාගොඩ සහ වැලිවිටිය දිව්තුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය වල ගඟ ආසන්නයේ ඇති මාර්ග කිහිපයක් ජලයෙන් යටවී තිබේ.

ගිංගඟ දෙපස ඇති නිවාස රැසක් මේ වනවිට ජලයෙන් යටවී තිබේ.නිවසින් ආරක්ෂිත ස්ථාන වලටගොස් ඇතිබව සහන සේවකයන් පවසයි.නෙළුව සහ තවලම ප්‍රදේශයෙන් ගඟෙහි ජලමට්ටම අඩුවෙමින් පවතියි
මේ අතර පීඩාවට පත්වූවන් බේරා ගැනීම සදහා නාවික හමුදා ජීවිත ආරක්ෂක භට කණ්ඩායම් සහ ගුවන් හමුදා භට කණ්ඩායම් අවශ්‍ය ස්ථාන වල ස්ථාන ගත කර ඇතිබව සහකාර අධ්‍යක්ෂවරයා පැවසීය.
මේ අතර ඉදිරියේදී ඇතිවිය හැකි ඕනෑම ආපදා තත්වයකට මුහුණදීමට අවශ්‍ය පියවර මේවනවිට ගෙන ඇතිබව  ගාල්ල දිස්ත්‍රික් ලේකම් ශාන්ත දිසානායක මහතා පැවසීය.
අවශ්‍ය උපදෙස් මේවනවිට ප්‍රාදේශීය ලේකම්වරුන්ට ලබාදී ඇතිබව වැඩිදුරටත් ලේකම්වරයා පැවසීය.