Spread the love

මෙම වසර තුළ වගා කටයුතු සඳහා ගොවි බැංකු විසින් රුපියල් මිලියන 7124ක් ගොවීන් 207,103 දෙනෙකුට නිකුත් කර ඇතැයි කෘෂිකර්ම, වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
මෙයට සමගාමීව වගා ණය ලාභී ගොවීන් 11කට අමාත්‍යවරයා අතින් රුපියල් 50,000ක් බැගින් නිකුත් කරනු ලැබීය.ණය නිකුත් කිරීම ගොවිජන බැංකු නියමු ව්‍යාපෘතිය යටතේ සිදු කෙරේ. ඉදිරි මහ කන්නය සඳහා ගොවීන්ට ගොවි බැංකු මගින් වගා ණය නිකුත් කිරීම පසුගියදා (14) නෙටොල්පිටිය ගොවි ජන සංවර්ධන මධ්‍යස්ථානයේ දී ආරම්භ විය.
මෙවර මහ කන්නයේ දී වගා කිරීමට සැලසුම් කර ඇති කුඹුරු ප්‍රමාණය හෙක්ටෙයාර් 814,678කි. එම ප්‍රමාණය වගා කිරීමට යෝජිත සමස්ත කුඹුරු ප්‍රමාණයෙන් සියයට 100කි.
එමෙන්ම 2022 වසරේ අගෝස්තු මාසය වන විට ගොවීන් 154,641 දෙනෙක් තමන් ලබා ගත් වගා ණය ආපසු ගෙවා ඇති අතර එය රුපියල් මිලියන 5472කි.
එමෙන්ම එම කාලය තුළ ගොවීන් 49,385ක් රුපියල් මිලියන 1576ක් මෙතෙක් ගෙවිමට පියවර ගෙන නැත.

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ගත් තීරණයක් පරිදි රාජ්‍ය බැංකු වලින් ගොවීන් විසින් ලබා ගත් ණය මුදල්වලින් රුපියල් මිලියන 688ක් කපා හැරීමට තීරණය කළේය. එසේ කපා හරින ලද ගොවි ණය වසර දෙකක් තුළ මහා භාණ්ඩාගාරය විසින් අදාල බැංකු වෙත මුදල් ලබා දීමට නියමිතය.

මෙම යෝජනාව ක්‍රියාත්මක කිරීම සඳහා රජය විසින් වෙන් කර තිබෙන මුදල රුපියල් මිලියන 350කි. කුඹුරු හෙක්ටෙයාර් 02ක් හෝ ඊට අඩුවෙන් වී වගා කිරීම සඳහා රාජ්‍ය බැංකු වෙතින් ණය ලබා ගත් ගොවීන් 28,259කට මෙම සහනය ලබා දීමට රජය පියවර ගත් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.