නිමල් රාජපක්ෂ-
.
තේ දළුවල ප්‍රමිතිය ඉහළ නැංවීම සඳහා ලංකා තේ මණ්ඩලය හදුන්වාදුන් B 60 වැඩ පිළිවෙළ ජනවාරි මස 01 දින සිට බලාත්මක කළ බව ලංකා තේ මණ්ඩලයේ කොමසාරිස් ජයන්ත එදිරිසිංහ මහතා පවසයි
B 60 වැඩ පිළිවෙළ ජනවාරි මස 01 දින බලාත්මක කර ඇත්දැයි සොයා බැලීම සඳහා කෘෂිකර්ම හා වැවීලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (03) පැවැති සාකච්ඡාවක දී මෙම කරුණු අනාවරණය කළේය.
නෙලා ගන්නා ලද තේ දළුවලින් සියයට 60ක් ළපටි දළුවලින් සමන්විත ව තිබීම මෙම B 60 වැඩ පිළිවෙළ යටතේ අත්‍යවශ්‍ය වේ. විශේෂයෙන් මෙරට නිෂ්පාදනය කෙරෙන තේවල ගුණාත්මකභාවය ඉහළ නැංවීම අරමුණු කර ගනිමින් මෙම වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කෙරේ.
සෑම තේ කර්මාන්ත ශාලාවක්ම මෙම ප්‍රතිපත්තිය ජනවාරි මස 01 දින සිට ක්‍රියාත්මක කිරීම අනිවාර්ය කරමින් තේ කොමසාරිස්වරයා අදාල තේ කර්මාන්තශාලාවල කළමනාකාරිත්වය දැනුම්වත් කර තිබේ.
මෙම ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම මගින් මෙරට වාර්ෂික තේ නිෂ්පාදනය කිලෝග්‍රෑම් මිලියන 90කින් ඉහළ යන අතර ප්‍රතික්ෂේපිත ( Refused Tea) තේ අන්තර් ගතවීම සියයට 07 දක්වා අවම කර ගැනීමට හැකිවේ.
සාමාන්‍යයෙන් නිෂ්පාදනය කරන තේවලින් ප්‍රතික්ෂේපිත තේ (Refused Tea) තිබිය හැකි ප්‍රමාණය සියයට 07ක් වුවද , B 60 වැඩ පිළිවෙළ ක්‍රියාත්මක නොකිරීම තුළ එය සියයට 17 දක්වා ඉහළ යා හැකිය. එයට හේතුව මෝරන ලද තේ දළු නෙලීමට කර්මාන්තකරුවන්ට සිදුවීමයි.
මෙම තත්ත්වය අවම කර ගැනීමට නම් සෑම සතියකට වරක්ම තේ දළු නෙළිය යුතු අතර මෙම B 60 වැඩ පිළිවෙළ යටතේ එක් තේ වත්තකින් නෙලා ගත හැකි දළු අස්වැන්න සියයට 20කින් ඉහළ යනු ලබයි.
තේවල ගුණාත්මකභාවය ඉහළ නැංවීම තුළින් තේ වතු හිමියන්ට වැඩි ආදායමක් උපයා ගැනීමටත් එමගින් සේවක මණ්ඩල සඳහා වැඩි වරප්‍රසාද ලබා දීමටත් හැකි වේ.
කිසියම් තේ කර්මාන්තශාලාවක් B 60 වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කිරීම සිතා මතා කඩාකප්පල් කළහොත් එම තේ කර්මාන්ත ශාලාවේ ලියාපදිංචි කිරීමේ බලපත්‍රය අහෝසි කිරීමට පියවර ගන්නා බව ද තේ කොමසාරිස් ජයන්ත එදිරිසිංහ මහතා පැවසීය. ඒ සඳහා බලතල තේ මණ්ඩල පනත මගින් කොමසාරිස්වරයාට පවරා ඇත.
