Spread the love


දේවින්ද පිණිදිය

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වයත් සමග ඇති වූ ගංවතුර සහ නායයාම් හේතුවෙන් දිවයිනේ ප්‍රධාන මහාමාර්ග 75 කට දැඩි හානි සිදුවී ඇති බවත් එම මාර්ග කඩිනමින් ප්‍රතිසංස්කරණය කිරීමට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන මේ වන විට ලබාදී ඇති බවත්, වර්ෂා තත්ත්වය අඩුවීමත් සමග මහාමාර්ග පද්ධතිය යථා තත්ත්වටට පත්කිරීම ට සියලු කටයුතු සිදුකරමින් පවතින බවත් මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්‍ෂ ජනරාල් විමල් කණ්ඩම්බි මහතා ප්‍රකාශ කරයි.

හෙතෙම මෙම අදහස් ප්‍රකාශ කළේ දිවයිනට බලපා ඇති අධික වර්ෂාපතනය හේතුවෙන් මාර්ගවලට සිදුවූ හානි සම්බන්ධයෙන් අද 27) දින මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමිනි..

හානියට පත් සියලු මාර්ගවල අවහිරතා ඉවත්කර රථවාහන ගමනාගමනයට හා ජනතාවට ගමන් කිරීමට සුදුසු ආරක්‍ෂිත ප්‍රවේශයන් ලබාදීමට මාර්ග සංවර්ධන අධිකාරිය පැය 24 පුරාම අඛණ්ඩ සේවාවක් ලබාදෙමින් සිටිනවා. ඒ සඳහා මාර්ග සංවර්ධන අධිකාරියේ පළාත්භාර අධ්‍යක්‍ෂ කාර්යාල, ප්‍රධාන ඉංජිනේරු හා විධායක ඉංජිනේරු කාර්යාලවල කාර්ය මණ්ඩලය දිවා රාත්‍රී සේවා කටයුතුවල නිරත වෙනවා.

දැනට තාවකාලිකව වසා ඇති කඩුගන්නාව මාර්ග කොටස පිළිබඳව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ උපදෙස් හා නිර්දේශ ලැබුණු වහාම වර්ෂා තත්ත්වය අඩුවීමත් සමගම එහි පූර්ණ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ආරම්භ කරනවා. මෙම මාර්ගය පූර්ණ ආරක්‍ෂික තතත්වයට ගෙන ඒමට ගල් 25 – 30 අතර සංඛ්‍යාවක් කඩා ඉවත් කිරීමට සිදුව ඇති බැවින් ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා.’