Spread the love

කණ්ඩායමේ සියලු ක්‍රීඩකයින් ට පෞද්ගලික වගකීමක් ඇති බවත් ධනුෂ්ක ගුණතිලක ට මුහුණදීමට සිදුවු දේ පිළිබඳ තමා කනගාටුවට පත්වෙන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දසුන් ශානක මහතා පවසයි.

අද (07) උදෑසන ශ්‍රී ලංකා කණ්ඩායම ඔස්ට්‍රේලියාවේ සිට දිවයිනට පැමිණි අතර ඉන් පසුව මාධ්‍යට අදහස් දක්වමින් මේ බව කියා සිටියේය.

“ඇත්ත තත්ත්වය තාම දන්නේ නෑ මොකද වෙලා තියෙන්නේ කියලා. අධිකරණයෙන් ඉක්මනින්ම ඒකට පිළිතුරක් හම්බවෙයි. අපි දැනගෙන හිටියේ නෑ එහෙම දෙයක් වෙලා කියලා. අපිට කතා කරන්න වුණේ නෑ.”

ලෝක කුසලාන තරගාවලිය පිළිබඳ අදහස් දක්වමින් දසුන් පවසා සිටියේ, මෙය අවිනිශ්චිත තරගාවලියක් බවය.

“අපි හොඳටම ක්‍රීඩා කළේ නෑ. ඒ වුණාට සමහර ක්‍රීඩකයෝ දක්ෂතා අතරට ආවා. කන්ඩිෂන් ගොඩක් සූට් වුණේ නෑ අපිට. අපේ ක්‍රීඩකයින් ආබාධයට ලක්වුණා. විකට් පොඩ්ඩක් ස්ලෝ ගතියක් තිබුණා. ඒක නිදහසට කරුණක් නෙමෙයි. මම හිතන්නේ අපිට තව හොඳට සුදානම් වෙන්න තිබුණා. මේ තරගාවලියම අවිනිශ්ත තරගාවලියක්. මොකද පොඩි කණ්ඩායම්වලින් ප්‍රබල කණ්ඩායම් පරාජයට පත්වුණා. නමුත් හොඳ අත්දැකීමක් ලැබුවා. ඉදිරියේ දී අත්දැකීම් පාවිච්චි කරන්න බලාපොරොත්තු වෙනවා.”

ප්‍රශ්නය – ලෝක කුසලානයක දී මේ ක්‍රීඩා විලාෂය හොඳයි ද?

“ඒක බලන විදිය තමා. ආසියානු කුසලානය දිනලා එද්දි ගොඩක් අය හොඳ කිව්වා. මේක ලෝක කුසලානයක්. අපිත් ලොකු බලාපොරොත්තුවක් ඇතිව යන්නේ. නායකයෙක් හැටියට මටත් ලොකු බලාපොරොත්තුවක් තිබුණා. අවාසනාවන්ත ලෙස අපිට දක්ෂතා අතරට එන්න බැරිව ගියා. ඒක තමා හේතුව.”