Spread the love

නිමල් රාජපක්ෂ 
මේ රටේ ජනතාව වසර හැත්තෑවක් ගමන්ගත් වැරදි පාර වෙනුවට පසුගිය සැප්තැම්බර් 21 ජයග්‍රහණයෙන් ආරම්භ කළ නව මාවත මෙරට ආර්ථික, සමාජයීය සහ සංස්කෘතික දේශපාලන වෙනසකට හේතු වූ බවත්, ප්‍රගතිශීලී ජනතාව 2024 වසරේ ගත් තීන්දුව මගින් ජනාධිපතිතුමා ප්‍රමුඛ ජාතික ජන බලවේග ආණ්ඩුවට වසරක් පිරීමට කළින් ආරම්භ කළ ශක්තිමත් සංවර්ධන ඇරඹුම ඉදිරියට ගෙනයාමට කටයුතු කරන බවත් ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සභානායක බිමල් රත්නායක මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ අදහස් පළකළේ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත අන්තර් හුවමාරුවේ සිට මීරිගම දක්වා ආරම්භය සහ කිලෝමීටර් 37.09 ක දිගින් යුත් පළමු අදියරේ දැනට වැඩ නැවතී ඇති මාර්ග කොටසේ ඉදිකිරීම් කටයුතු නිළ වශයෙන් ආරම්භ කිරීමේ උත්සව අවස්ථාවට එක්වෙමිනි.

මෙම උත්සවය කඩවත අන්තර් හුවමාරු මධ්‍යස්ථාන පරිශ්‍රයේ දී අද (.17) පැවති අතර, එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා : ‘අපේ රට දේශපාලන හා වෙනත් හේතූන් මත බංකොලොත්භාවයට පත්වෙලා විශාල ආර්ථික, සමාජ පරිහානියක් සිදුවූ මොහොතක තමයි රටේ ජනතාව අලුත් මගකට මේ රට යොමු කළේ. 2022 වසරේදී ඇතිවූ ආර්ථික අර්බුදයත් සමග මෙම ව්‍යාපෘතිය අතරමග නතර වුණා. එදා දේශපාලන නායකත්වයක් නැති රටක වංචාව, දූෂණය, අයහපත් කළමනාකරණය වැනි හේතු නිසා අති දැවැන්ත මූල්‍ය හානියක් රටට, ආර්ථිකයට සිදුවුණා. රටට පමණක් නොවෙයි, ඉදිකිරීම් සමාගම්වලටත් ලොකු හානියක් සිදුවුණා. අපේ අමාත්‍යංශය යටතේ පවතින අධිවේගී මාර්ගය සහ බණ්ඩාරනායක ගුවන් තොටුපොළ දෙවන පර්යන්තය සංවර්ධනය කිරීමත් ප්‍රමාදවීම හේතුවෙන් රටට දරාගත නොහැකි ගෙවීම් කිරීමට සිදුවී තිබෙනවා.

වත්මන් රජය, චීන රජය සහ චීන තානාපතිතුමා සමග සිදුකළ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස අනවශ්‍ය ප්‍රමාදය නිසා ගෙවීමට සිදුව තිබූ ණය පොළියට සහන ලබාගැනීමට හැකිවුණා. ඒ පිළිබඳ චීන රජයටත්, චීන තානාපතිතුමාටත් ස්තුති කිරීමට මෙය අවස්ථාවක් කර ගන්නවා. මෙම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ ඉදිකිරීම් මාර්ග සංවර්ධන අධිකාරියේ මූලිකත්වයෙන්, ඉහළ ප්‍රමිතියෙන්, වගකීමෙන් සහ නියමිත වේලාවට සිදු කරනු ඇතැයි අපේක්‍ෂා කරනවා. ඒ සඳහා අවශ්‍ය සියලුම සහාය රජය විදියට අපි ලබාදෙනවා. මේ රජය යටතේ, පසුගිය රජයන් මෙන් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී බලපෑම් සිදුවන්නේ නැහැ. ප්‍රමිතිගත සංවර්ධනයක් රටට ලබාදීමට අවශ්‍ය පරිසරය දැන් සකසා දී තිබෙනවා. එමනිසා කිලෝමීටර් 37 ක දුර ප්‍රමාණය මාස 32 කින් නිම කරන්න සැලසුම් කර තිබෙනවා. 2028 සිංහල දෙමළ අලුත් අවුරුද්දට පෙර ජනතාවට මෙම මාර්ගයේ ගමනාගමනය සඳහා අවස්ථාව ලබාදීම අපේක්‍ෂාවයි. ඒ සඳහා චීන සමාගම්, දේශීය සමාගම්, මාර්ග සංවර්ධන අධිකාරිය වගකීම් සහිතව ක්‍රියාකරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා.

මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉතිරි කොටස්වල ඉදිකිරීම් ද මේ වසර තුළ ආරම්භ කිරීමට කටයුතු කරනවා. එමෙන් ම රුවන්පුර අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කඩිනමින් ආරම්භ කරන අතර, ඊට සමගාමීව රත්නපුර දක්වාත් අනෙකුත් සියලු අවශේෂ මාර්ගයන් ද සංවර්ධන කිරීම සිදු කරනවා. කෙරවළපිටිය අන්තර් හුවමාරු මධ්‍යස්ථානය අංග සම්පූර්ණ නවීන පහසුකම් සහිතව වැඩිදියුණු කරනවා. දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ උඩුකාව ප්‍රදේශයට නව සේවා ස්ථානයක් ස්ථාපිත කර, මගී ජනතාවට පහසුකම් සැලසීමට කටයුතු කරනවා.’

මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ චීන තානාපති ෂෙන් හොන්ග් මහතා ඇතුළු චීන රජයේ නියෝජිතයින්, ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන, වරාය හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ඉංජිනේරු ජනිත රුවන් කොඩිතුවක්කු, කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ, ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් මාපලගම, ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල සී. කේ. පෙරේරා, මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති ටී. පාස්කරන්, අධ්‍යක්‍ෂ ජනරාල් විමල් කණ්ඩම්බි යන මහත්වරු ඇතුලු මාර්ග සංවර්ධන අධිකාරියේ සහ ඉදිකිරීම් සමාගමේ නිලධාරීහු ඇතුලු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.