Spread the love


නිමල් රාජපක්ෂ

අයථා ගණුදෙනු හා දුෂණ වංචා අවම කිරීම සදහා ප්‍රවාහන කේෂත්‍රයට කාඩ්පත් ක්‍රමය කඩිනමින් ජාතික ගමනා ගමන කොමිසන් සභාවට හදුන්වාදෙන බව ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පැවසුවේය.

නියෝජ්‍ය ඇමතිවරයා මෙසේ පැවසුවේ එළඹුන සුභ මොහොතින් ජාතික ගමනා ඟමන කොමිසන් සභාවේ සභාපතිවරයා ලෙස පී. ඒ.චන්ද්‍රපාල මහතා සිය ධුරයේ වැඩ බාරගත් අවස්ථාවේදීය

මෙහිදී අදහස් දැක්වූ නියෝජ්‍ය ඇමතිවරයා ,
“ජනතාව ලබාදුන් ජනවරම සහ අපේ දැක්ම අනුව ප්‍රවාහන ක්‍ෂේත්‍රය නව තලයකට ගෙන යාම සඳහා සෑම අංශයක් ම ක්‍රමවත් කිරීමට කටයුතු කරනවා. ජනතාවට සමීප සේවාවන් ලබාදෙන මෙම ආයතනය වඩාත් කාර්යක්‍ෂම කිරීමට නව පරිපාලනය යටතේ හැකිවෙතැයි අපේක්‍ෂා කරනවා. ගෙවීම් කටයුතු සඳහා ලංගමට සහ පෞද්ගලික ප්‍රවාහන ක්‍ෂේත්‍රයට කාඩ්පත් ක්‍රමයක් හැකි ඉක්මණින් හඳුන්වා දෙනවා.

අයථා ගණුදෙනු, දූෂණ සිද්ධ වෙන්නෙ මුදල් සංසරණය වීමත් එක්ක. මුදල් සංසරණය අඩු වෙන තරමට අයථා ගණුදෙනු අඩු වෙනවා, දූෂණ අඩු වෙනවා. ඒනිසා ප්‍රවාහන ක්‍ෂේත්‍රයට කාඩ් ක්‍රමය හඳුන්වා දීම අත්‍යවශ්‍ය යි.

දැනට අංශ කිහිපයක් යටතේ ක්‍රියාත්මක වන ත්‍රිරෝද රථ සේවාව, පාසැල් ළමුන් ප්‍රවාහන සේවාව ඇතුළු ප්‍රවාහන සේවාවන් ජාතික ගමනාගමන කොමිෂන් සභාව හරහා ක්‍රමවත් කිරීමට නව වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කරනවා” යැයි පැවසී ය.

ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ නව සභාපති පී. ඒ. චන්ද්‍රපාල මහතා අදහස් දක්වමින් :
“රජය වෙනුවෙන් ප්‍රවාහන ක්‍ෂේත්‍රයේ නියාමන ක්‍රියාවලිය සිදුකරන මූලික ආයතනය තමයි ජාතික ගමනාගමන කොමිෂන් සභාව. මෙය ජනතාවගේ ආයතනයක්. ජනතාව වෙනුවෙන් සේවාවන් කිරීම අපේ වගකීමයි. .

තනි පුද්ගලයෙකුට ක්‍රියාවලියක් සාර්ථක කරගන්න බැහැ. නමුත් මෙහෙයවන්න පුළුවන්. කණ්ඩායම් ක්‍රියාවලියක් තුළින් පමණයි ජනතාවගේ අභිලාෂයන් ඉටු කරන්න හැකිවෙන්නේ. ඊට අවශ්‍ය සහාය දේශපාලන යාන්ත්‍රණය තුළින් ලැබෙයි කියලා විශ්වාස කරනවා. ජනතාවට ගුණාත්මක සේවාවක් ලබාදෙන අතර ම රටේ ආර්ථිකයට ශක්තියක් ලබාදෙන්න හැකි වෙන ආකාරයට මෙම ආයතනය මෙහෙයවනවා.”

මෙම අවස්ථාවට ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ වැඩ බලන අධ්‍යක්‍ෂ ජනරාල් නයෝමි ජයවර්ධන, අධ්‍යක්‍ෂ (මූල්‍ය) කමල් දිසානායක යන මහත්ම මහත්මීන් ඇතුළු නිලධාරීහු රැසක් සහභාගි වූහ.