දේවගැති ජෙරම් ප්‍රනාන්දු පසුගිය සිකුරාදා අන්තර් ජාලය ඔස්සේ පැවැත්වූ දේව මෙහෙයෙන් පමණක් රුපියල් කෝටියකට අධික මුදලක් උපයාගෙන ඇති බව වාර්තා වෙයි.
කෙසේවෙතත් දේවගැතිවරයා නීතිවිරෝධී අයුරින් කිසිදු මුදලක් උපයාගෙන ඇති බවට මෙතෙක් සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී නොමැති බවද නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය පවසයි.
බුදුන් වහන්සේට අපහාස කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ දේවගැති ජෙරම් ප්‍රනාන්දු තවමත් විදෙස් රටක රැඳීසිටින අතර ඔහුට එරෙහි නඩුවක්ද මේ වනවිට අධිකරණයේ විභාගවෙමින් පවතින බවය.
දේවගැතිවරයාගේ බිරිඳ සහ දරුවන් මෙරටට පැමිණියද ඔහු තවදුරටත් විදෙස්ගතව සිටිමින් අන්තර්ජාලය ඔස්සේ දේශනා පවත්වමින් සිටී.
ඒ ඔහු මෙරටට පැමිණීමේදී අත්අඩංගුවට ගැනීමට සූදානමින් සිටින බවට පොලිසිය සඳහන් කර ඇති පසුබිමකය.
මෙවන් වාතාවරණයක දේවගැති ජෙරම් ප්‍රනාන්දු සිකුරාදා දිනවලදී සූම් තාක්ෂණය ඔස්සේ පවත්වන දේව මෙහෙය සඳහා පසුගිය සිකුරාදා පමණක් පුද්ගලයන් 300ක් ලියාපදිංචි වී ඇත.
ඊට එක් අයෙකුගෙන් අමෙරිකානු ඩොලර් 139ක මුදලක් අය කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරීන් අනාවරණ කරගෙන තිබේ.
ඒ අනුව, ඔහු එමගින් උපයා ඇති වටිනාකම රුපියල් කෝටියකට අධික බවට විශ්වාස කෙරේ.
දේවගැතිවරයා එම දේශනා මගින් උපයන මුදල් පිළිබඳව ඉදිරියේදී විමර්ශනයක් සිදුකිරීමට නියමිතය.
මේ අතර දේවගැති ජෙරම් ප්‍රනාන්දු දේශනා පවත්වන කටුනායක, මිරකල් ඩෝම් ශාලාව පිහිටි ඉඩම ඔහුට නොමිලේ ලබාදී ඇත්තේ මෙරට ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයෙකු විසින් වන අතර ඔහුගෙන් ද විමර්ශන නිලධාරීන් ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.
අදාළ ශාලාව ඉදිරිකිරීම සඳහා දේවගැතිවරයාගේ අනුගාමිකයන් 13,000ක පමණ ප්‍රමාණයක් මුදල් ලබාදී ඇති අතර ඒ සඳහා ඔහු සෑම අයකුටම රිසිට් පත්‍රයක් නිකුත් කර ඇති බව වාර්තා වෙයි.
විමර්ශන නිලධාරීන්ට අනුව මිරකල් ඩෝම් ශාලාව ඉදිකිරීම සඳහා වියදම් කර ඇති සම්පූර්ණ මුදල් රුපියල් කෝටි 253කි.
ඒ අනුව, දේවගැතිවරයාගේ පවුලේ සාමාජිකයන් පස්දෙනෙකුගෙන් ද නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය ප්‍රකාශ සටහන්කරගෙන තිබේ.
ඔවුන් කිසිවෙක් මින් පෙර නීතිවිරෝධී ක්‍රියා සිදුකර නොමැති බවද එහිදී අනාවරණ වී ඇත.
දේවගැතිවරයා තමන්ගේ දේපල සම්බන්ධයෙන් විගණන කටයුතු කිරීම සඳහා මෙරට ප්‍රමුඛපෙලේ විගණන සමාගමකට පවරා ඇති බව සඳහන්ය.
කෙසේවෙතත් දේවගැතිවරයා තමන්ගේ අදායම් බදු නිසි අයුරින් ගෙවනවාද යන්න පිළිබඳව සහ ඔහුගේ සමීපතමයන් පවත්වාගෙන යන සමාගම් 6ක් සම්බන්ධයෙන් නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මගින් විමර්ශනයක් සිදුකෙරේ.
කෙසේවෙතත් දේවගැති ජෙරම් ප්‍රනාන්දු කිසිදු අකාරයක නීතිවිරෝධී වත්කම් ඉපැයීමක් සිදුකර ඇති බවක් මෙතෙක් අනාවරණ වී නොමැති බව ද විමර්ශන නිලධාරීන් පවසයි.
