Spread the love

බදුල්ල වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ ඉගෙනුම ලබමින් සිටි සිසුවෙකු සැකකටුයුතු ලෙස මියයාමේ සිද්ධියක් සම්බන්ධයෙන් නිසිලෙස නීතිය ක්‍රියාත්මක කරන ලෙස දෙමාපියෝ ඉල්ලා සිටිති.

පසුගිය 08 වනදා මෙම සිසුවා මීගහකිවුල නගරයේ තොරණක් බැලීම සඳහා නිවසින් පිටත්ව ගොස් තිබුණි.

එදින රාත්‍රීයේ 12ට පමණ මෙම තරුණයාගේ මවට ඔහුගේ දුරකථනයෙන්ම ඇමතුමක් ලැබී තිබුණේ, 10 කණුව, තල්දෙන ප්‍රදේශයේ පාලමක් අසල බරපතළ තුවාල සහිතව වැටී සිටින බවටය.

යාපනය සිට කොළඹ දක්වා ධාවනය වෙමින් තිබූ බස් රථයක සිටි අයෙකු එම තරුණයා දැක පොලීසියට හා නිවැසියන්ට එලෙස දැනුම් දී ඇත.

පසුව සුවසැරිය ගිලන් රථයකින් මෙම තරුණයා බදුල්ල රෝහල වෙත රැගෙන විත් තිබුණි.

බරපතළ තුවාල සහිතව රෝහල් ගත කර සිටි එම සිසුවා පසුගිය 12 වනදා මියගොස් තිබුණි.

එසේ මියගොස් ඇත්තේ, 19 හැවිරිදි ඩබ්ලිව්. එම්. ශාන්ත සම්පත් නැමැති බදුල්ල වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ වඩුකර්මාන්තය පිළිබඳව පාඨමාලාවක් හදාරමින් සිටි අයෙකි.

සිය දරුවාගේ මරණය පිළිබඳ සම්පත්ගේ මව “අද දෙරණ” ට ඉතා සංවේදීව මෙලෙස කරුණු අනාවරණය කළාය.

“පුතා ගෙදර ආවා. නාලා බත් කාලා, තොරණක් බලන්න කියලා ගියා. ගෙදර දිහා බල බල ගියේ දරුවා. එතකොටත් මම කිව්වා පුතා යන්න එපා මහන්සියිනේ කියලා. මම ටිකකින් එනවා කියලා දරුවා ගියේ. ඒ කරලා ගිහින් 8.30ට විතර කතා කළා අම්මා යාළුවෝ ආවේ නෑ. මම අඳුරන මාමලා එක්ක ඉන්නේ කියලා. මම ටෙක් යන්න එනවා කියලා. 12 ට විතර තමා මට කෝල් එක ආවේ දරුවා පාරේ වැටිලා ඉන්නවා ඔයාගේ කවුද කියලා ඇහුවා. මේක මගේ පුතාගේ ෆෝන් එක කියලා කිව්වා. අම්මේ පුතාට ෆිට් එක හැදෙනවා ද පුතා වැටිලා ඉන්නවා කිව්වා. ඉක්මනට එන්න අම්මා මෙයාට අමාරුයි කිව්වා. මම දොරත් ඇරලා දාලා ළමයි දෙන්නයි මහත්තයයි නිදාගෙන ඉන්නකොට පයින් ගියේ. කිලෝමීටර් භාගයක් විතර පයින් ගිහින් තිස්සලාගේ ගෙදරට කතා කරලා ත්‍රීවිල් එකට තෙල් ගහලා ඇඳුමක් දාලා ලෑස්ති වෙද්දි 1ට විතර ඇති. එතකොට කිව්වා අම්මේ මෙයාට අමාරුයි අපි මෙයාව සුවසැරියේ යවනවා මෙයාගේ ෆෝන් එකත් සුවසැරියට දෙනවා ඔයා ඉක්මනට බදුල්ලට එන්න කිව්වා. කතා කළේ බස් එකෙන් කියලා.

අපි බදුල්ලට යද්දි ආපහු තෙල් ගැහුවා ත්‍රීවිල් එකට. එතකොට ඩොක්ටර් කතා කරා මෙයාට අමාරුයි කියලා. බලද්දි දරුවට සිහියක් නෑ. සර්ට් එකේ මඩ, කලිසම තෙමිලා තිබුණා. මම ඇහුවා දරුවාගේ බඩ පාගලා ද? දුෂණයක්වත් වෙලාද කියලා. ටික වේලාවක් යද්දි ඔක්සිජන් එක අල්ලද්දි ඔළුව ඇතුළෙන් ලේ යනවා. මම කිව්වා ඔළුවට ගහලා තියෙන්නේ ඩොක්ටර් කියලා. ඔළුවේ තුවාලයක් තිබුණා. උරහිසේ තිබුණා, පිටේ තුවාල තිබුණා. කකුල් කළුවෙලා තිබුණා. සිහිය එනකල් කියලා හිටියා සිහිය ආවේ නෑ. හදිසි ප්‍රතිකාර ඒකකයේ තමා එතකල් හිටියේ. වාට්ටුවට දාලා 5යි ගාණකට ගිලන්රථයකින් අරන් ගියා මොනරාගලට. දරුවා එක්ක මම හිටියේ. ඔළුවේ පරීක්ෂණයක් කරන්න… ආපහු එක්කන් ආවා 11ට විතර වාට්ටුවට. ඩොක්ටර් කල්පනා කර කර ඉන්නවා කියන්නේ නෑ. මම ඇහුවා දරුවාගේ මොළයට හානියක් වෙලා ද කියලා සිහිය එන්නේ නැත්තේ කියලා. අම්මා ඒක කියන්න වෙන්නේ බදුල්ලට ගිහිල්ලා කිව්වා. ආවහම කිව්වා මොළේ පුපුරලා ඔළු කට්ට පුපුරලා කිව්වා. ගොඩ ගන්න බෑ අම්මා කිව්වා. දවස් දෙකක් යද්දි දරුවා නැතිවුණා.

මගේ දරුවාගේ මිනීමරුවෝ හොයා ගන්න ඕන. දරුවා මැරුණ ද? මැරුවද කියලා තාම දන්නේ නෑ. මට සැකයි මේ ගැන. එයා යාළුවෙලා හිටිය ගෑනු ළමයා එක්ක රෑ 11 වෙනකල් ඉඳලා තියෙනවා මීගහකිවුලේ. යාළුවෙක් ආවේ නෑ කිව්වට යාළුවෙක් ඇවිල්ලා තියෙනවා ත්‍රීවිල් එකක. ඒ යාළුවා කියනවා එදා දවසම ශාන්තව හම්බ වුණේ නෑ කියලා. තොරණ බලන්න ආවෙත් නෑ කියනවා. මගේ දරුවට වෙච්ච දේ ගැන හොයලා සාධාරණයක් කරලා දෙන්න.”