Spread the love

තම රන් මාලය කොල්ලකෑ පුතු නිදහස් කරන්නැයි ඉල්ලා මවක් පොලිස් නිලධාරීන් ඉදිරියේ හඬා වැටීමේ පුවතක් කළුතර දකුණ අපරාධ කොට්ඨාසයෙන් වාර්තා විය.

 තම පුතු මත් කුඩු  පානය කිරීමට මුදල් ඉල්ලු බවත් මුදල් නොමැති බවට පැවසීමෙන් අනතුරුව තම ගෙල මිරිකා පැළඳ සිටි රන් මාලය කොල්ලකා පළාගිය බවට වයෝවෘද්ධ  මවක් කළුතර දකුණ පොලීසියට පැමිණිලි කර තිබුණි.

එලෙස පැමිණිල්ල කර තිබුණේ කළුතර දකුණ, හීනටියන්ගල නිම්තෙර අසපුව ප්‍රදේශයේ පදිංචි 70 හැවිරිදි මවකි.

පසුව කළුතර දකුණ පොලීසිය අදාළ පැමිණිල්ල අනුව සිදුකළ විමර්ශනවලින් අනතුරුව නටියන්ගල ප්‍රදේශයේ සැඟව සිටි සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණේ දින 7කට පසුවය.

පැමිණිල්ල ඉදිරිපත් කළ මවගේ  එකම පුතු වන  සැකකරු විවාහකයෙකි.

මෙම සැකකරුගේ බිරිඳ හා දරුවා ඔහු අත්හැර ගොස් ඇති අතර  නඩත්තු කරඇත්තේ
 වයෝවෘද්ධ මව බව පොලීසිය සඳහන් කළේය.

තදින්ම මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි ව සිටි සැකකරු මත්කුඩු පානය කිරීම සඳහා මවගෙන් මුදල් ඉල්ලා ඇත.

තමන් සන්තකයේ මුදල් නොමැති බව පැවසීමෙන් අනතුරුව සැකකරු විසින් මවගේ රන් මාලය ඉල්ලා ඇතැයි බව පොලීසිය පවසයි.

මව විසින් එය රන්මාලය ලබාදීම ප්‍රතික්ෂේප කිරීමත් සමඟම  සැකකාර පුතු  ඇයගේ ගෙල මිරිකා බිම දමා පැළඳ සිටි පවුමක් බර රන්මාලය කොල්ලකා පළාගොස් තිබුණි.

සැකකරු අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව සිදුකළ ප්‍රශ්න කිරීමේදී  මවගෙන් කොල්ලකන ලද රන් මාලය වෙට්ටුමකඩ ප්‍රදේශයේ  පුද්ගලයකුට රුපියල් හැට දහසකට විකුණා  එම මුදල්වලින් මත්කුඩු පානය කළ බවට ප්‍රකාශ කළ බව පොලීසිය සඳහන් කළේය.

තම පුතු අත්අඩංගුවට ගෙන ඇති බව සැලවී පොලීසියට පැමිණ තිබූ පැමිණිලිකාර මව හඬා වැටෙමින් පොලිස් නිලධාරීන් අමතමිනි “අනේ මහත්තයෝ  මට මගේ මාලේ නැති වුණාට කමක් නෑ, මගේ කොල්ලව මට ගෙදර ගෙනියන්න දෙන්න.” යැයි ආයාචනා කරමින් හඬා වැටී තිබේ.

මව කර තිබූ පැමිණිල්ල අනුව ඔහු නීතිය හමුවට පැමිණීමට සිදුවන බව කළුතර  කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සනත් සනත් කුමාර මහතා  ඇයට කරුණු පහදා දී  ඇත.

සැකකාර  පුද්ගලයා කළුතර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.