Spread the love


මහ කන්නය සාර්ථක කර ගැනීමට රජය ජාත්‍යන්තරයෙන් කළ ඉල්ලීමට ජාත්‍යන්තර ප්‍රජාව ඉහළම ප්‍රතිචාර දක්වා ඇතැයි කෘෂිකර්ම වනජීවි හා වනසංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසයි.
ඇමතිවරයා මෙම අදහස් පළකලේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.

මෙවර මහ කන්නය සාර්ථක කර ගැනීම රජයේ මුළික ඉළක්කයයි. ඒ සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය යටතේ කෘෂිකර්ම ක්ෂේත්‍රය සඳහා අවශ්‍ය මුළික යෙදවුම් වන යුරියා හා අනෙකුත් පොහොර, ඉන්ධන, බීජවර්ග, කෘමිනාශක හා වල්නාශක ලබා දීම ඇතුළු සියලු කටයුතු ගොවි ජනතාවට විශාල සහනයක් ලැබෙන පරිදි ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා තිබේ.
කෘෂිකාර්මික යෙදවුම් ලබා දිමේ දී ගොවි ජනතාවට ලබා දෙන සහනධාර වැඩ පිළිවෙල පුළුල් කර ඇත. විශේෂයෙන් යුරියා පොහොර මිටියක් ලෝක වෙළෙද පොලේ රුපියල් 23,000ක් පමණ වන අතර රජය ගොවීන්ට යුරියා පොහොර ලබා දෙන්නේ රුපියල් 10,000ක මුදලකටයි. හෙක්ටෙයාර් 01ක කුඹුරු ඉඩමක් සඳහා යුරියා කිලෝග්‍රෑම් 170ක් ලබා දීමට කටයුතු කිරීම නිසා අඩු තරමින් එක් හෙක්ටෙයාරයක් සඳහා ගොවීන්ට ලැබෙන යුරියා පොහොර සහනාධාරය රුපියල් 30,000කට ආසන්න වේ.
එමෙන්ම කාබනික පොහොර මිල දී ගැනීම සඳහා රුපියල් 20,000ක සහනාධාර මුදලක්ද, බණ්ඩි පොහොර සඳහා රුපියල් 10,000ක සහනාධාරයක් ද ලබා දීමට කටයුතු යොදා තිබෙන බව අමාත්‍යවරයා කීය.
මහ කන්නයේ දී අපේ ගොවි ජනතාවට යුරියා පොහොර, ඉන්ධන ලබා දීම සඳහා අන්තර් ජාතික ප්‍රජාව වෙතින් රජය කළ ඉල්ලිම නිසා අන්තර් ජාතික ප්‍රජාව ඊට යහපත් ප්‍රතිචාර දක්වා තිබේ. ණය වශයෙන් හෝ ලෝක බැංකුව ඩොලර් මිලියන 105ක මුදලක්ද, එක්සත් ජාතින්ගේ ආහාර කෘෂිකර්ම සංවිධානය මගින් යුරියා පොහොර මිටි 1,86,000ක් ආධාරයක් වශයෙන් ද, ආසියානු සංවර්ධන බැංකුව විසින් බණ්ඩි පොහොර මිල දී ගැනීමට අවශ්‍ය මුල්‍ය ප්‍රතිපාදන ද, USAID මගින් මඬ පොහොර (TSP – Triple Super Phosphate) මෙට්‍රික් ටොන් 40,000ක් ද, චීන රජය විසින් ඩීසල් ලීයර් මිලියන 10.06ක් ද වශයෙන් විශාල ආධාර ප්‍රමාණයක් ගොවි ජනතාව සඳහා ලබා දීමට එකඟතාවය පළ කර තිබේ.
මේ අවස්ථාවේ සියලු දෙනාගේ වගකීම රට අරාජික කිරීම නොවේ. රජය විසින් රට වැටී ඇති වළෙන් ගොඩ ගැනීම සඳහා රජය ගෙන යන වැඩ පිළිවෙළට සහයෝගය ලබාදිම සියළු පක්ෂවල වගකීම බවද පැවසුවේය.