මීට දින 06කට පෙර මියගිය රත්නපුර ප්‍රදේශයේ නිතීඥවරයා කිසියම් කණ්ඩායමක් සමඟ සතුන් දඩයම සඳහා යොමුවී සිටියා දැයි යන්න පිළිබඳව විමර්ශන අංශවල දැඩි අවධානය යොමු තිබේ.
නීතීඥවරයා පදිංචිව සිටි නිවෙසේ කාමරයකින් ගිනි අවි 05ක් සහ පතොරම් 400කට වැඩි ප්‍රමාණයක් සමඟ සතුන් දඩයම් කිරීමට යොදා ගන්නා හක්කපටස් තොගයක් සොයා ගැනීම හේතුවෙන්.
මෙම නීතීඥවරයා පසුගිය 11 වෙනිදා මිය යාමෙන් පසු පවුලේ සාමාජිකයන් නිවසට පැමිණ ගේදොර අස්පස් කිරීමේදී කාමරයක තිබී මෙම ගිනි අවි සහ පතොරම් තොගය හමුවී තිබෙන බව පොලිස් තොරතුරු සඳහන් කරයි.
ඥාතීන් විසින් ඒ බව පොලිස් බුද්ධි අංශයේ නිලධාරියෙක්ට ඒ බව කළ දැනුම්දීමකට අනුව රත්නපුර පොලීසියේ නිලධාරීන් එම නිවසට ගොස් ගිනි අවි පතොරම් සිය භාරයට ගැනීමට කටයුතු කර ඇත. .
මිය යන විට නීතීඥවරයා අවුරුදු 71ක් වයසැතිය. මෙම නීතීඥවරයා රත්නපුර අධිකරණයේ කටයුතු කළ අයෙක්. අවසන් වරට ඔහු රත්නපුර අධිකරණයේ නඩු කටයුතු සඳහා සම්බන්ධවී ඇත්තේ මාස 05කට පෙරයි.
මෙම නීතීඥවරයා නිවසේ ජීවත්ව ඇත්තේ තනිවමයි. පිටස්තර කිසිවෙකුත් නිවසට ගෙන්වා ගන්නේ නැති බවද විමර්ශනවලින් අනාවරණය වී තිබෙනවා. එකම සහෝදරිය පවා පදිංචිව සිට ඇත්තේ කොළඹ. පසුගිය 10 වෙනිදා පපුවේ වේදනාවක් ඇතැයි පවසමින් ඔහු රත්නපුර රෝහලට ඇතුළත්ව ඇති අතර 11 වෙනිදා මියගොස් ඇති බව පොලීසිය සඳහන් කරයි.
හුදෙකලාව ජීවත්වූ මෙම නීතීඥවරයා කලහාකාරී චරිතයක් නොවන බව ඒ සම්බන්ධයෙන් කළ සොයා බැලීම්වලදී අනාවරණය වී තිබේ.
මෙරට නිෂ්පාදිත රිවෝල්වරයක්, මෙරට නිෂ්පාදිත පිස්තෝලයක්, මෙරට නිෂ්පාදිත බැරලය අඩි 2.06ක් දිග අවියක්, මෙරට නිෂ්පාදිත යකඩ බැරලයකට සවි කරන ලද ස්ප්‍රීන් එක සහිත අවියක්, බොර 12 උණ්ඩ යෙදිය හැකි මෙරට නිෂ්පාදිත අවියක් මූනිස්සම් 24ක් අඩංගු කුඩා ටින් 01, හක්ක පටස් 53, බෝර 12 උණ්ඩ 383ක් සහ බෝර 16 උණ්ඩ 57ක් සොයාගත් ගිනි අවි අතර තිබී ඇත. මෙම ගිනි අවි කාමරයේ දමා තිබී ඇත්තේ අනාරක්ෂිතවයි. සඟවා තැබීමට තරම්වත් නීතීඥවරයාට උනන්දුවක් තිබී නැති බව පොලීසිය සඳහන් කරයි
හක්කපටස් යොදා ගන්නේ සතුන් දඩයම් කිරීමටයි. හක්කපටස් සකස් කරනු ලබන්නේද දඩයම් කරුවන් විසින්. එසේම සොයාගත් ගිනි අවිද දේශීය වශයෙන් නිෂ්පාදනය කළ ඒවායි. සොයාගත් පතොරම් ද වැඩි වශයෙන් යොදා ගනු ලබන්නේ සතුන් දඩයම් කිරීමටයි. මෙම නීතීඥවරයා සමඟ යම් පුද්ගලයෙක් හෝ කණ්ඩායමක් එක්ව දඩයම්වල නිරතව සිටියේදැයි සැකයක්ද පොලිස් විමර්ශකයන්ට මතුව තිබේ.
