Spread the love

මිද්දෙණිය ප්‍රදේශයෙන් පසුගියදා සොයාගත් රසායනික ද්‍රව්‍යවල සාම්පල පිළිබඳ රජයේ රස පරීක්ෂකවරයාගේ වාර්තාව පොලිසිය වෙත භාර දී තිබේ.

පොලිසිය පැවසුවේ අදාළ වාර්තාවට අනුව ඒවා අයිස් මත්ද්‍රව්‍ය සෑදීමට යොදාගන්නා රාසායනික ද්‍රව්‍ය බවට තහවුරු කර ඇති බවය.

කෙහෙල්බද්දර පද්මේ හා කුඩු නිලංග මෙරට තුළ අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීමට භාවිත කරන බව කියන රසායනික ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 50,000ක් පමණ බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය මිද්දෙණිය ප්‍රදේශයෙන් පසුගිය සැප්තැම්බර් 06 වනදා සොයා ගනු ලැබීය.

ඒ කෙහෙල්බද්දර පද්මේ සමග ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගනු ලැබූ බැකෝ සමන් නැමැත්තාගෙන් බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය කළ ප්‍රශ්න කිරීම්වලින් අනාවරණය කරගත් තොරතුරු අනුවය.

අනතුරුව අදාළ රසායනික ද්‍රව්‍ය සාම්පල පරීක්ෂණ කටයුතු සඳහා අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයට සහ රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට යොමුකර තිබුණි.