Spread the love

එළඹෙන වෙසක් පොහොය දින නිමිතිකොට ගෙන, මාතලේ නගරය තුළ පැවැත්වෙන රාජ්‍ය වෙසක් උත්සවයට සමගාමීව මහනුවර වෙසක් කලාපය උත්කර්ශවත් අයුරින් පැවැත්වීමට සැලසුම් සකස් කර ඇත.

ඒ අනුව කලාප 10 ක් යටතේ ‘සුඛෝ බුද්ධානං උප්පාදෝ (බුදුවරුන්ගේ පහළවීම සැපතකි) 2024 සෙංකඩගල වෙසක් උදානයට පිළිවෙතින් පෙළ ගැසෙමු’ යන තේමාව ඔස්සේ මහනුවර වෙසක් කලාපය පැවැත්වීම සදහා මේ වන විට සැලසුම් සකස් කර ඇති අතර, ඒ සම්බන්ධයෙන් වන විශේෂ සාකච්ඡාවක් අස්ගිරි පාර්ශවයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමියන් ඇතුළු  මහා සංඝරත්නයේ වැඩමවීමෙන්, මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිතිඥ  ලලිත් යූ.ගමගේ ප්‍රධානත්වයෙන් මහනුවර ආණ්ඩුකාර කාර්යාලයේදී (26) පැවැත්විය.

වෙසක් පහන් කූඩු, ලේ දන්දීමේ වැඩසටහන්, භක්ති ගීත වැඩසටහන්, දන්සැල් ඇතුලු අංග රැසක් ඇතුලත් ව සංවිධානය කරනු ලබන මෙම වෙසක් කලාපයේ ප්‍රධාන කලාපය මහනුවර දළදා මාලිගා පරිශ්‍රය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීම සදහා කටයුුතු සංවිධානය කර ඇති අතර, ඊට අමතර, අස්ගිරිය , සහස් උයන, බෝගම්බර , සුදුහුම්පල ,මහනුවර පොලිස් ස්ථානයේ කලාපය, වැව රවුම භූවැලිකඩ ,විද්‍යාර්ථ පාසල ආශ්‍රිත , කටුගස්තොට ,ගන්නෝරුව යන වෙසක් කලාප කලාප 9 ක් තුළ මෙම වෙසක් කලාපය පැවැත්වෙනු ඇත.

මෙහිදී අදහස් දක්වමින් පළාත් ආණ්ඩුකාරවරයා සදහන් කර සිටියේ, ‍මාතලේ නගරය කේන්ද්‍ර කර ගනිමින් ජාතික වෙසක් උත්සවය පැවැත්වෙන අවස්ථාවක, අසල්වාසී මහනුවර නගරයෙන් ඒ සදහා මෙලෙස ආලෝකයක් එක් කිරීම වැදගත් වන බවයි.  ඒ සදහා ආයතන විශාල පිරිසක් එක් ව පෙර වර්ෂයට වඩා සාර්ථක අයුරින් මෙවර වෙසක් කලාපය සාර්ථක කරගැනීම සදහා එක් වීම ද සුවිශේෂී බවත් එම මහතා මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් සදහන් කර සිටියේය.

මධ්‍යම පළාත් සභාව,  මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, මහනුවර ඉන්දියානු සහකාර මහකොමසාරිස් කාර්යාලය, ශ්‍රී ලංකා පොලීසිය ඇතුලු ආරක්ෂක අංශ , රාජ්‍ය නොවන ආයතන ඇතුලු ආයතන 143 ක සහයෝගීතාවයෙන් පැවැත්වෙන මෙම වැඩසටහන වෙසක් සතිය පුරා පැවැත්වෙනු ඇත.

මෙම අවස්ථාව සඳහා මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල, පළාත් අමාත්‍යාංශ ලේකම්වරුන්, මහනුවර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ බණ්ඩාරනායක යන මහත්ම මහත්මීන් ඇතුලු පිරිසක් ද මෙම සාකච්ඡාව සදහා සහභාගී විය.