Spread the love

වඳුරු උණ රෝගය ශ්‍රී ලංකාව තුළ පැතිරයෑම වළක්වාගැනීම සදහා ගුවන්තොටුපොළ ඇතුළු ස්ථානවල නිරීක්ෂණ කටයුතු ශක්තිමත් කිරීමට බලධාරීන් පියවර ගත යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසුවේ ආසාදිතයෙකුගේ තුවාලවල ශ්‍රාවයන් ඝෘජුවම ස්පර්ශවීමෙන් තවත් අයෙකුට එය ආසාදනය විය හැකි බවය.

ඔහු මේ බව පැවසුවේ වඳුරු උණ රෝගියෙක් මෙරටින් හඳුනාගැනීම සම්බන්ධයෙන් අදහස් දක්වමිනි.

“රෝගය බෝවෙනවා කියලා දැනට හඳුනාගෙන තියෙන්නේ ඒ තුවාලවල ඇතිවන කබොළු ආශ්‍රිතව ශ්‍රාවයන් සෘජු ලෙස ස්පර්ශවීම හරහා තමයි. ඒ නිසා විශේෂයෙන් තමන් විදේශ රටක සිට පැමිණියේ  නම්, තමන්ට උණ ඇවිල්ලා විශේෂ ලක්ෂණය තමයි මේ තුවාල මේ රෑෂ් එක ඇති වෙන එක. එමෙන්ම තමන්ගේ ලිංගාශ්‍රිත අවයව තමන්ගේ ගුද මාර්ගය ආශ්‍රිතව තුවාල තත්ත්වයන් ඇති වෙනවානම් වහාම වෛද්‍ය ප්‍රථිකාරවලට යොමුවන්න. මේ සම්බන්ධයෙන් නිෂ්චිත තහවුරු කරගැනීමක් සිදුකර රෝගය සම්පූර්ණයෙන් සුව වෙනකම් ලිංගික ක්‍රියාකාරකම්වලින් වැළකෙන ලෙස. මේක ලෝකයේ පුරාම නිර්දේශිතයි. මේ රෝගයේ තිබෙන විශේෂත්වය තමයි රෝගීන් 80%ක එහා රෝගීන්ගේ ඇඟෙන්ම සුවවෙලා යනවා. මේ සම්බන්ධයෙක් රටක් හැටියට ගන්නේ කුමන ක්‍රියාමාර්ග ද යන්න තාක්ෂණික කමිටුව හරහා ප්‍රකාශයට පත්වෙනකම් අනවශ්‍ය කලබලයකින් තොරව මේ පිළිබඳ සමීපව ඉන්න කියලා ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.”

මේ මස 01 වනදා ඩුබායි සිට පැමිණි වයස අවුරුදු 20ක තරුණයෙකු වඳුරු උණ රෝගියෙකු ලෙස හඳුනාගෙන ඇති බව වෛද්‍ය පර්යේෂණ ආයතනය ඊයේ (03) පවසා තිබුණි.

වසා ගැටිති ඉදිමීම සහ වෙහෙසකාරී බව ඇතුළු රෝග ලක්ෂණ හේතුවෙන් මෙම පුද්ගලයා ප්‍රතිකාර ලබාගැනීම සඳහා ජාතික ලිංගාශ්‍රිත රෝග සායනය වෙත පැමිණ තිබුණි.

එහිදී සිදුකෙරුණු පරීක්ෂණ අනුව ඔහුගෙන් වඳුරු උණ සඳහා විශේෂිත වූ ජාන හඳුනා ගැනීමට හැකිවු බව වෛද්‍ය පර්යේෂණ ආයතනය පැවසුවේය.

එම ආසාදිතයා මේ වනවිට අයි.ඩි.එච් රෝහලේ ප්‍රතිකාර ලබයි.

මේ අතර වෛද්‍ය පර්යේෂණායතනයේ වෛරසවේදී අංශයේ ප්‍රධානී, විශේෂඥ වෛද්‍ය ජානකී අබේනායක මහත්මිය පැවසුවේ වඳුරු උණ දරුණු මාරාන්තික රෝගයක් නොවන නමුත් ආසාදිත පුද්ගලයෙකුගේ තරල මගින් හා ශ්වසන මාර්ගයේ බිඳිති මගින් එය තවත් පුද්ගලයෙකුට පහසුවෙන් පැතිරයා හැකි බවය.

මෙම රෝගයෙන් ආරක්ෂා වීම සදහා තවදුරටත් මුඛ ආවරණ පැළදීම සහ දෑත් පිරිසිඳු කිරීම ඇතුළු සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කිරීම වැදගත් බව ද ඇය පැවසුවාය.