Spread the love

.

නිමල් රාජපක්ෂ

ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය, ඊශ්‍රායල් රාජ්‍ය සමග ඇති කරගත් අවබෝධතා ගිවිසුම අනුව ශ්‍රි ලාංකිකයින්ට ඊශ්‍රායලයේ රැකියා ලබාදීම සඳහා මීට පෙර සිටි ඇමතිවරු, නියෝජ්‍ය අමාත්‍යවරු හා පුද්ගලික ලේකම්වරුන් මැදිහත්වී මුදල් ලබාගැනීම සිදුකළ බවත්, නව රජය එම සංස්කෘතිය අවසන් කර වඩාත් විනිවිදභාවයකින් යුතුව සුදුස්සන්ට පමණක් රැකියා ලබාගැනීමට හැකි ක්‍රමවේදයක් ආරම්භ කළ බවත් විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා ප්‍රකාශ කළේය.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ආරම්භ කර වසර 40ක් පිරීම නිමිත්තෙන් විශේෂ සමරු කවරයක් එළි දැක්වීමේ අවස්ථාවට අද දින (10/27) විදේශ කටයුතු අමාත්‍යාංශයේදී එක්වෙමිනි. 

එහිදී විශේෂ සමරු මුල් දින කවරය තැපැල්පති රුවන් සත්කුමාර මහතා විසින් අමාත්‍ය විජිත හේරත් මහතා වෙත පිළිගන්වන ලදී. 

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය විජිත හේරත් මහතා,

“පහුගිය කාලේ විදේශ සේවා නියුක්ති කාර්යාංශය පිළිබඳව ජනතාව තුළ තිබුණෙ හොඳ ප්‍රතිචාරයක් නෙවෙයි. රට යවන්න ලක්ෂ ගණන් සල්ලි ගන්නවා. වංචාකරුවන්ට හසුවෙනවා. විවිධ ආයතන මගින් මුදල් අරගෙන ලාංකිකයෝ අතරමං කරනවා. අපි පහුගිය වසරේ පියවර ගත්තේ කාර්යාංශය හරහා විදේශ ගතවීමේදී සිදුවන අක්‍රමිකතා නතර කරන්න. අපි සතුටු වෙනවා. අද වෙනකොට දේශපාලන අධිකාරිය විදේශ රැකියා ලබාදෙන්න මුදල් ගන්නවා කියන්නේ නෑ. නමුත් ඉතිහාසයේ එහෙම නෙවෙයි අමාත්‍යවරු, නියෝජ්‍ය අමාත්‍යවරු, අමාත්‍යවරුන්ගේ පුද්ගලික ලේකම්වරුන් විදේශ රැකියා ලබාදෙන්න මුදල් අරන්, නාස්ති කරලා දැන් චෝදනා එල්ල වෙලා තියෙනවා. අද එවැනි කිසිම දෙයක් දේශපාලන අධිකාරියෙන් සිද්ධ වෙන්නේ නෑ. ඒ වගේම නිළධාරී මහත්ම මහත්මීනුත් කැපවීමෙන් අද රාජකාරි සිදුකරනවා. ඒ ගැන අපි ආඩම්බර වෙනවා.

ඒ වගේම කාර්යාංශය හරහා මේ දිනවල වැඩිවශයෙන් ඊශ්‍රායලයේ රැකියාවලට යවනවා. කාර්යාංශය එය හරියට ක්‍රියාත්මක කරන්නේ නෑ කියලා චෝදනාවක් එල්ල වෙනවා. ඇත්තටම එය වැරදි අවබෝධයක්. ඊශ්‍රායල් රැකියා ලබාදීමේදී අනුගමනය කරන ක්‍රමවේදයක් තියෙනවා. ඒක අපි නෙවෙයි ඊශ්‍රායල් රජය තමයි තීරණය කරන්නේ. ඊශ්‍රායල් රජය වෙනුවෙන් පීබා ආයතනය තමයි අදාළ තේරීම් කටයුතු සිදුකරන්නේ. මෑත කාලීනව ඊශ්‍රායල් රැකියා ලැබෙනවා. ඒ ඔස්සේ යම් තරගකාරීබවක් ඇතිවෙලා තියෙනවා. නමුත් දේශපාලන අධිකාරීය තමන්ගේ හිතවතුන් මේ ලැයිස්තුවලට ඇතුළත් කරන්න කිසිසේත්ම මැදිහත් වෙන්නේ නෑ. ඒ සංස්කෘතිය අපි වෙනස් කරලා තියෙනවා. මේ රැකියා ක්‍රමවේදය අපි විනිවිද කරලා තියෙනවා ඔබට මේ රැකියාවලට යන්න පුළුවන් වෙන්න යැයිද පැවසුවේය.