මුල්කිරිගල ගුණරත්න
මිද්දෙණිය පොලිස් වසමට අයත් තෝරකොළයාය තේක්ක රක්ෂිතය තුල අතුරු මාර්ගයකදී 24 දින රාත්‍රි 11.30 ට පමණ වෙඩි තබා තරුණයින් දෙදෙනෙකු ඝාතනය කර ඇතැයි මිද්දෙණිය පොලිසිය පැවසීය .
25 දින උදේ 07.30ට පමණ තෝරකොළයාය ප්‍රදේශයේ කාන්තාවක් තේක්ක රක්ෂිතය අසල මළසිරුරු දෙකක් ඇති බවට මිද්දෙණිය පොලිසියට ලබා දුන් දුරකථන ඇමතුමක් අනුව මළසිරුරු සොයාගෙන තිබේ .
වෙඩි තබා ඝාතනය කර ඇත්තේ ඇඹිලිපිටිය කුඹගොඩ ආර අංක 103 /2 ලිපිනයේ පදිංචි 39 හැවිරිදි අබේසේකරගේ චමල් අබේකෝන් නමැති බස්රථ රියදුරෙකු සහ ඇඹිලිපිටිය තෝරකොළයාය, තනිහේන ගෙදර ලිපිනයේ පදිංචි 26 හැවිරිදි කැලුම් තුෂාර ජයසේකර නමැති රැකියා විරහිත තරුණයෙකි .
ඔවුන් දෙදෙනා යතුරුපැදියකින් මිද්දෙණිය ඇඹිලිපිටිය මාර්ගයේ තෝරකොළයාය තේක්ක රක්ෂිතය මැදින් වැටී ඇති හෙල්ලල දෙසට ගමන් කිරීමට ඇති අතුරු මාර්ගයේ යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී මෙම වෙඩි තැබීම සිදුකර ඇතැයි පොලිසිය පවසයි .
9.එම්.එම්.වර්ගයේ ගිණි අවියකින් වෙඩි තැබීම සිදුකර ඇති බවත් ඝාතනයවූ පුද්ගලයින් මත්කුඩු සහ ගංජා ජාවාරම් කරන අය බවට කරුණු අනාවරණයවූ බවත් මත්ද්‍රව්‍ය ජාවාරමක් පිළිබඳව ඇතිවූ විරසකයක් මත මෙම ඝාතන සිදුකරන්නට ඇතැයි සැකකරන බවත් උසස් පොලිස් නිළධාරියෙකු පැවසීය .
ඝාතනය සිදුකල සැකකරුවන් මේ දක්වා අනාවරණය වී නැත . වලස්මුල්ල මහේස්ත්‍රාත් වරිය විසින් මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදුකිරීමට නියමිතය . තංගල්ල කොට්ඨාස භාර ජෙය්‍ය්ෂ්ඨ පොලිස් අධිකාරි උපුල සෙනෙවිරත්න මහතාගේ උපදෙස් පරිදි මිද්දෙණිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චාමර සිල්වා මහතා ඇතුළු නිළධාරින් වැඩිදුර පරීක්ෂණ පවත්වති .
