කළුතර නාගොඩ රෝහලේ වෛද්‍යවරුන්ට සහ අනෙකුත් සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට තර්ජනය කළ පුද්ගලයන් කඩිනමින් අත්අඩංගුවට ගෙන නීතිය හමුවට පමුණුවන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය බලධාරීන්ට දැනුම් දී තිබේ.
එම ඉල්ලීම ඉටු නොකළහොත් හෙට (22) වැඩ වර්ජනයක් ආරම්භ කරන බවට ඔවුන් අනතුරු ඇඟවීය.
මෙහිදී සමස්ත රෝහල් කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව තහවුරු කිරීමේ වැදගත්කම සංගමය අවධාරණය කරයි.
සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා පැවසුවේ, පසුගිය 17 වැනිදා අලුයම 2.00ට පමණ වාට්ටු අංක 16 හිදී මියගිය පිළිකා රෝගියෙකුගේ ඥාතීන් පිරිසක් රෝහලට පැමිණ ඇති බවයි. ඔවුන් එහි රාජකාරි කරමින් සිටි වෛද්‍යවරුන්ට, හෙදියන්ට සහ අනෙකුත් සෞඛ්‍ය සේවකයන්ට බැන වදිමින්, රාජකාරියට බාධා කරමින් කලහකාරී ලෙස හැසිරී තිබේ.
මෙම පිරිස පැයක් පමණ කාලයක් වාට්ටුව තුළ රැඳී සිටිමින් අනෙකුත් රෝගීන්ට ප්‍රතිකාර ලබා දීම පවා වැළැක්වීමට තර්ජනය කර ඇති බවද ඔහු සඳහන් කළේය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කර ඇතත්, සැකකරුවන් මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති බව වාර්තා වේ.
