Spread the love

සරණාගතයින් බවට සැකකෙරෙන ශ්‍රී ලාංකිකයින් 300ක පමණ පිරිසක් රැගත් යාත්‍රාවක් වියට්නාම – සිංගප්පූරු මුහුදු සීමාවේදී මුදාගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලී සබ්රි මහතාද තහවුරු කළේ,  ඔවුන් මෙරටට ගෙන්වාගැනීම සඳහා වියට්නාම බලධාරීන් සමග සාකච්ඡා අරඹා ඇති බවය.

ශ්‍රී ලාංකිකයින් 303 දෙනෙකු රැගත් LADY R3 නම් ශ්‍රී ලාංකික ධීවර යාත්‍රාව ඊයේ (07) අනතුරට ලක්ව ඇත්තේ, වියට්නාමය සහ සිංගප්පූරුව ආසන්න මුහුදේදී ය.

යාත්‍රාව අනතුරට පත්වීමත් සමඟ එහි සිටි ලාංකිකයෙක් ඒ පිළිබඳව මෙරට නාවුක මුදාගැනීමේ මෙහෙයුම් මැදිරිය අමතා දැනුම් දී ඇති අතර, ඔවුන් විසින් මේ සම්බන්ධයෙන් වියට්නාම නාවුක මුදාගැනීමේ මෙහෙයුම් මැදිරිය වෙත දැනුම්දී තිබේ.

ඒ වනවිට යාත්‍රාව වියට්නාම භූමියෙන් නාවික සැතපුම් 258ක් දුරින් යාත්‍රා කරමින් පැවති බව වියට්නාම මාධ්‍ය වාර්තා කළේය.

ඉන් පසුව වියට්නාමය විසින් සිංගප්පූරු සහ මැලේසියා රජයන් සමග සම්බන්ධ වී අදාළ යාත්‍රාව සම්බන්ධ තොරතුරු හුවමාරු කරගෙන තිබුණි.

ඒ අසලින් යාත්‍රා කරමින් පැවැති ජපානයට අයත් හිලියෝස් ලීඩර් නම් නෞකාව වෙත මේ සම්බන්ධයෙන් දැනුම්දී ඇති අතර, ඔවුන් සමග කළ ඒකාබද්ධ මෙහෙයුමකින් පසුව විපතට පත් එහි සිටි පිරිස මුදාගත් බව වාර්තා වේ.