Spread the love

සත්ව ආහාර සඳහා බඩඉරිගු වෙනුවට සුනුසහල් හෙවත් කැඩුනු සහල් Broken Rice ආදේශකයක් ලෙස යොදා ගැනීමේ සුදුසුභාවය පිළිබදව ලිඛිත සහතිකයක් ලබා දෙන ලෙස කෘෂිකර්ම වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කරයි.
අමාත්‍යවරයා කළ ඉල්ලිම පරිදි සත්ව නිෂ්පාදන හා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් සත්ව ආහාර ආදේශකයක් ලෙස කැඩුනු සහල්වල සුදුසුභාවය තහවුරු කර තිබේ.
බඩඉරිඟු හා කැඩුනු සහල් සත්ව ආහාර නිෂ්පාදනයේ දී ශක්තිජනක ආහාර අමුද්‍රව්‍යයක් ලෙස භාවිතා කරනු ලබයි.බඩඉරිඟුවල කුකුළන් සඳහා වූ පරිවෘතික ශක්තිය කිලෝග්‍රෑමයට කිලෝ කැලරි 3300- 3400ත් අතර පවතී. කැඩුනු සහල්වල එම මට්ටම කිලෝග්‍රෑම් එකකට කිලෝ කැලරි 2900-3000ත් අතර අගයක් ගනී.
බඩඉරිඟු සත්ත්ව ආහාර නිෂ්පාදනයේ දී සියයට 60කට අධික ප්‍රමාණයක් ලෙස භාවිතා කළ හැකි අතර කැඩුනු සහල් උපරිම වශයෙන් සියයට 40- 50ක ප්‍රමාණයක් භාවිතා කළ හැකිය.
මේ අනුව සත්ව ආහාර නිෂ්පාදනයේ දී යම් ප්‍රමාණයකට හොඳ තත්ත්වයේ කැඩුනු සහල් බඩඉරිඟු වෙනුවට ආදේශකයක් ලෙස යොදා ගත හැකි යැයි සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය කේ. ඒ. සී. එච් . ඒ. කොතලාවල මහත්මිය නිර්දේශ කර ඇත.
2021 මහ කන්නයේ බඩඉරිඟු අස්වැන්න සියයට 10ක් දක්වා අඩුවීම හේතුවෙන් 2022 වසර තුළ සතුන් සඳහා අවශ්‍ය සත්ව ආහාර සැකසීම සඳහා ප්‍රමාණවත් පරිදි බඩඉරිඟු නොමැති වීම නිසා සුනුසහල් මෙට්‍රික් ටොන් 25,000ක් ඉන්දියාවෙන් ආනයනය කිරීමට රජය තීරණය කරනු ලැබීය. විශේෂයෙන් බඩඉරිඟු වගාව සඳහා රසායනික පොහොර මෙන්ම වල්නාශක යෙදීම අත්‍යවශ්‍ය වේ. එහෙත් 2021 මහ කන්නයේ දී රසායනික පොහොර භාවිතය තහනම් කිරීම හේතුවෙන් බඩඉරිඟු
අස්වැන්න මෙට්‍රික් ටොන් 90,000 දක්වා පහළ වැටිනි.

එම නිසා පසුගිය කාලය තුළ දේශීය වෙළෙඳපළෙහි දියර කිරි, බිත්තර හා කුකුළු මස්වල මිල ගණන් සීග්‍රයෙන් ඉහළ ගියේය