නිමල් රාජපක්ෂ
“වර්තමානයේ දුම්රිය ධාවනය ගැන බැලුවම දෛනිකව අවලංගු වන දුම්රිය ගමන්වාර විශාලයි. එක දුම්රියක් අවලංගු වනවා කියන්නේ රටට, සමාජයට වගේම පුද්ගලිකව ජනතාව විශාල පාඩුවක් සිදුවෙන්නේ. මේ හේතූන් නිසාම දුම්රිය සම්බන්ධයෙන් හොඳ ප්‍රතිරූපයක් නෙමෙයි ජනතාව තුළ ගොඩනැගිලා තිබෙන්නේ. දුම්රිය බාර ඇමති විදියට මටත් එවැනිම අපැහැදිළි ප්‍රතිරූපයක් තමයි සමාජය තුළ ගොඩනැගිලා ඇත්තේ. සහතිකවලට සීමාවූ උගත්කම් වලින් රටට, ජනතාවට ප්‍රයෝජනයක් නැහැ. අපේ නම්බුනාම හෝ වැටුපෙන් ඔවුන්ට වැඩක් නැහැ. ජනතාවගේ අවශ්‍යතා මත පදනම් වී, ක්ෂණිකව ඒ වෙනුවෙන් ක්‍රියාත්මක විමයි ජනතාවට වැදගත්ම සාධකය වන්නේ. දුම්රිය සේවයේ ගුණාත්මකබව රැකගත හැකි ප්‍රධානම කොටස් අතරින් දෙකක් තමයි රියදුරන් සහ නියාමකවරුන්. ඒ තරම් වැදගත්වූ රැකියාවකට තමයි අද ඔබ මේ පිවිසෙන්නේ” යැයි ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා අවධාරණය කරයි.

නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් දැක්වූයේ, අද (13) පෙරවරුවේ මරදාන දුම්රිය සාමාන්‍යාධිකාරී කාර්යාලයේ පැවති උත්සව අවස්ථාවකට සහභාගි වෙමිනි. ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ පුරප්පාඩුව පැවති දුම්රිය රියදුරු සහ නියාමක යන තනතුරු වෙනුවෙන් විවෘත තරග විභාගයන්ගෙන් සුදුසුකම් ලත් පිරිසක් වෙනුවෙන් මෙහිදී පත්වීම් ලිපි ලබාදීම, නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා අතින් සිදු කෙරිණි.
දුම්රිය දෙපාර්තමේන්තුවේ කලක පටන් පුරප්පාඩුව පැවති රියදුරු තනතුර වෙනුවෙන් නවක රියදුරන් 85 ක් සහ නියාමකවරුන් 06 ක් වෙනුවෙන් මෙහිදී නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් පත්වීම් ලිපි ලබාදෙන ලදී.
වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය ප්‍රසන්න ග්රණසේන මහතා ..,
“නව රජය ගියවර අයවැයෙන් රජයේ සේවකයන්ගේ වැටුප් වෙනුවෙන් රු. බිලියන 110 ක් වෙන්කළා. මෙවර අයවැයෙන් ඒ සඳහා තවත් බිලියන 110 ක් වෙන්කළා. 2027 සඳහාත් ඒ සමාන මුදලක් වැටුප් වෙනුවෙන් වෙන්කිරීමට නියමිතයි.මේ සේරම කරන්නේ මහජනතාවට ගුණාත්මක සේවයක් ලබා දෙන්නයි. දුම්රිය සේවයේ සෑම අංශයකම මානව හිඟයක් තියෙනවා. නව රජය පත්වෙලා අපි කරපු ප්‍රථම රාජකාරිය තමයි ඒ හිඟය පුරවන්න කැබිනට් පත්‍රිකාවක් අනුමත කරගැනීම. නමුත් බඳවා ගැනීම සිදුකිරීමට මාස 10 ක් ගත වුණා. ඉදිරියේදී මෙවැනි කටයුතු කඩිනමින් සිදුකිරීමට බලාපොරොත්තු වෙනවා.
දුම්රිය රියදුරන් සඳහා පුරප්පාඩු 192 ක් තිබුණා. ඒ වෙනුවෙන් අයැදුම් පත්‍ර 698 ක් ලැබී තිබුණා. නමුත් අද එම තනතුර වෙනුවෙන් අපට බඳවා ගන්න හැකි උනේ 88 ක් පමණයි. දුම්රිය නියාමකවරුන් සඳහා ඉල්ලුම් පත්‍ර 1302 ක් ලැබී තිබුණත්, අදාළ විභාගය සමත්වී තිබුණේ 57 ක් පමණයි. නියාමක පුරප්පාඩු 136 ක් පැවතුනත් මෙම 57 දෙනා අතරින් අද අපට නියාමකවරුන් වශයෙන් බඳවා ගන්නෙ 06 ක් පමණයි. මේ පිළිබඳව අපි වැඩි අවධානයක් යොමුකළ යුතුයි. මෙයට ප්‍රධානම හේතුව තමයි මම කලින් කිව්වා වගේ සහතික වලට පමණක් සුදුසුකම් සීමාවීම යැයි පැවසීය.
මෙම අවස්ථාවට දුම්රිය සාමාන්‍යාධිකාරි රවීන්ද්‍ර පත්මප්‍රිය මහතා ප්රමුඛ දුම්රිය දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු විශාල පිරිසක් සහභාගී වූහ.
