Spread the love

නිමල් රාජපක්ෂ
මේ වසරේ සැප්තැම්බර් මාසයේ මෙරටට ලැබුණු විගමනික ප්‍රේෂණ ඇමරිකානු ඩොලර් මිලියන 695.7 දක්වා ඉහල ගොස් ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය, මහා බැංකු වාර්තා උපුටා දක්වමින් සඳහන් කරයි.
2024 සැප්තැම්බර් මස මෙරට ලැබුණු විගමනික ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 555.60කි. ඒ අනුව 2024 සැප්තැම්බර් මාසයට සාපේක්ෂව මේ වසරේ සැප්තැම්බරයේ ලැබුණු විගමනික ශ්‍රමික ප්‍රේෂණ ඇමරිකානු ඩොලර් මිලියන 140.1 කින් වැඩි වී තිබේ.
2025 වසරේ මුල් මාස නවය තුළ ශ්‍රී ලංකාවට විගමණික සේවකයින්ගෙන් ලැබුණු ප්‍රේෂණ ඇමෙරිකානු ඩොලර් මිලියන 5,811.2 ක් වූ අතර එය 2024 වසරේ එම කාලය තුළ වාර්තා වූ ඇමෙරිකානු ඩොලර් මිලියන 4,843.9 ට සාපේක්ෂව 16.65% ක ආකර්ෂණීය වර්ධනයකි.
මෙරට ආර්ථිකයේ විදේශ සංචිත ඉහල යාම සඳහා සෘජුවම දායකත්වය ලබා දෙන ක්ෂෙත්‍රය බවට විදේශ රැකියා කර්මාන්තය පත්වී ඇති බව කාර්යාංශය සඳහන් කරයි. නව විදේශ රැකියා උත්පාදනය සඳහා රාජතාන්ත්‍රික මට්ටමින්, රජය කාර්යක්ෂම වැඩපිළිවෙලක් සකස් කොට තිබේ. ඒ අනුව ඊශ්‍රායලය, ජපානය සහ දකුණු කොරියාව යන රටවල රැකියා සඳහා විධිමත් බඳවා ගැනීමේ ක්‍රියාවලියක් හඳුන්වා දී ඇති අතර, වංචනික ක්‍රියාකාරකම් වැළැක්වීම සහ ශ්‍රී ලාංකික සංක්‍රමණික සේවකයින්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා පුළුල් පියවර ගනිමින් පවතී.
විදේශ රැකියා ක්ෂේත්‍රය නියාමනය කිරිමේ පූර්ණ වගකිම තිබෙන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මේ වනවිට සිය 40 වන සංවත්රය සමගින් විශාල දායකත්වයක් මෙරට ආර්ථිකයට, විගමනික ප්‍රජාවට, විදේශ රැකියා නියෝජිතායතන හා සියලු සහයක පාර්ෂ්ව වෙත ලබාදෙමින් සිටි.
මේ වසර අවසානය වන විට විගමනික ශ්‍රමික ප්‍රේෂණ ඇමරිකානු ඩොලර් බිලියන 7 ඉක්මවා යනු ඇතැයි අපේක්ෂා කෙරේ. එසේම ලක්ෂ 3 කට ආසන්න පිරිසක් රැකියා සදහා විදේශ ගත කිරිමට බලාපොරොත්තු වේ.