Spread the love

ආන්දෝලනාත්මක සීනි බදු සිද්ධිය සම්බන්ධයෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සැකසූ වාර්තාව ලබන සතියේ තමන් අතට පත්වන බව මූදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

2020 වසරේදී සිදුවූ ආන්දෝලනාත්මක සීනි බදු අඩු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විගණකාධිපතිවරයා විසින් සකස් කළ වාර්තාව පාදක කරගනිමින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් එම වාර්තාව සකසා ඇත.

වාර්තාව තමන් අතට පත්වීමෙන් පසු එය පාර්ලිමේන්තුවේ සභාගත කරන බවද මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.

“2020 රජය සීනි සඳහා අය කරපු විශේෂ වෙළෙඳ බද්ද රුපියල් 50 සිට ශත 25 දක්වා අඩු කළා. එතකොට සීනි කිලෝ එකක රජයේ බද්ද රුපියල් 49 ශත 75කින් අඩු වුණා. හැබැයි රජය බලාපොරොත්තු වූ විදිහට ඒ ලාබය ජනතාවට ලැබුණේ නැහැ. මේක රට තුළ විශාල ආන්දෝලනයක් වුණා.” 

“මේ ක්‍රියාව නිසා රජය රුපියල් කෝටි 1,670ක් කැප කළා කියලා විගණකාධිපති වාර්තාවේ කියනවා. ඒ මුදල සීනි ආනයනකරුවන් අතර බෙදීගිය ආකාරයත් ඒ වාර්තාවේ නම් වශයෙන්ම දාලා තිබුණා. විගණකාධිපති වාර්තාවේ තිබෙන අංක එකේ නිර්දේශය තමයි මේ මුදල නැවත රජයට අයකර ගැනීම ගැන සැලකිලිමත් වෙන්න කියලා.” 

“නැවත අයකර ගැනීම ගැන බලන්න වෙන්නේ දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවට. ඒ සම්බන්ධයෙන් නීතිමය තත්ත්වය සොයා බලා දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ වාර්තාව මට මේ සතියේ ලැබේවි.”

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ රුවන්වැල්ල – වැන්දල ප්‍රදේශයේ පවත්වාගෙන යන දුර්ලභ පළතුරු ශාඛ වර්ග ඇතුළත් උද්‍යානය නැරඹීම සඳහා පැමිණ සිටි අවස්ථාවේදී.

මෙම උද්‍යානය නැරඹීම සඳහා මාතර රාහුල විද්‍යාලයයේ සිසුන් පිරිසක් ද එහි පැමිණ තිබුණි.

මෙම ආදර්ශ උද්‍යානය තුළ කලාතුරකින් දැකිය හැකි පළතුරු වර්ග 300 කට ආසන්න ප්‍රමාණයක් වගා කර ඇත.