Spread the love

සුගතදාස ජාතික ක්‍රීඩා සංකීර්ණය ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව ප්‍රතිසංස්කරණය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.සුගතදාස ජාතික ක්‍රීඩා සංකීර්ණය යනු පළමු පන්තියේ ක්‍රීඩා පහසුකම් සපයන ජාත්‍යන්තරව පිළිගත් ක්‍රීඩා සංකීර්ණයක්.ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව සියලු පහසුකම් සහිත මීටර් 400, මීටර් 200 සහ මීටර් 80 කෘතිම ධාවන පථ වලින් සමන්විත ශ්‍රී ලංකාවේ ඇති එකම ක්‍රීඩා සංකීර්ණය ද එය වෙනවා.2018 දී කෘතිම ධාවන පථය නැවත සකස් කරන ලද නමුත් වර්තමානයේ එහි බොහෝ ඉරිතැලීම් ඇති බැවින් එය ජාතික මට්ටමේ ක්‍රීඩා සඳහා නුසුදුසු බවයි  ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය වාර්තා කර ඇත්තේ.එබැවින්, ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව මෙම ධාවන පථය ප්‍රතිසංස්කරණය කිරීම ජාතික ප්‍රමුඛතාවයක් ලෙස හඳුනාගෙන ඇති අතර, ශ්‍රී  ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජාතික හා ජාත්‍යන්තර තරග සදහා යැවීමට අවශ්‍ය පහසුකම් සැපයීමේ අරමුණින් මෙය ප්‍රතිසංස්කරණය කෙරෙනවා.ඒ අනුව, සුගතදාස ජාතික ක්‍රීඩා සංකීර්ණයේ කෘත්‍රිම ධාවන පථ නැවත ඇතිරීම, පාපන්දු පිටිය සැකසීම, ඒ සඳහා අවශ්‍ය විද්‍යුත් කාල ගණන යන්ත්‍ර සවී කිරීම සහ ආලෝක කුලුනු ප්‍රතිසංස්කරණය කිරීම යන කාර්යයන් නියමිත ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය කරමින් සිදු කිරීම සදහා තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.