Spread the love

නිමල් රාජපක්ෂ

අක්ෂි තාක්ෂණ විද්‍යාලයේ (School of Ophthalmic Technology) 2017-2019 / 2019-2021 / 2022-2024 කණ්ඩායම්වල වසර 02 ක පුහුණූවෙන් පසු සමසෞඛ්‍ය සේවාවට අයත් අක්ෂි තාක්ෂණවේදීන් 57 දෙනෙකු සඳහා උසස් ඩිප්ලෝමා උපාධි ප්‍රදානෝත්සවය (Higher Diploma Awarding Ceremony) අද (29) පෙරවරුවේ සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජයමුණි මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ දී සිදු කෙරිණි.

ජාතික අක්ෂි රෝහලේ වසර දෙකක පුහුණු කාලයකින් පසු තවත් පරිපූරක අක්ෂි තාක්ෂණවේදීන් 58 දෙනෙකු උසස් ඩිලෝමා උපාධි ලබා ගැනීම සෞඛ්‍ය සේවාවේ මානව සම්පත ශක්තිමත් කිරීමේ වැදගත් අවස්ථාවක් බව මෙහිදී පෙන්වා දුන් සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජයමුණි මහතා ශරීරයේ වැදගත් ඉන්ද්‍රියක් වන ඇස් අපට ලැබෙන සියලුම සංඥා වලින් සියයට 80 කට වඩා වටහා ගන්නා බවත්, එම සියුම් අවයව අප ආරක්ෂා කර ආදරයෙන් රැකබලා ගත යුතු බව ද පැවසීය.

කලාපයේ අනෙකුත් රටවල් හා සසැදීමේ දී ශ්‍රී ලංකාවේ අක්ෂි සත්කාර ක්ෂේත්‍රය ඉහළ ප්‍රමිතියක් තිබීම ගැන ආඩම්බර විය හැකි බවත්, රට තුළ වළක්වා ගත හැකි අන්ධභාවය තුරන් කිරීම පිළිබඳව වැඩි අවධානයක් යොමු කළ යුතු බව ද පැවසීය.

පෙනීම ආශ්‍රිත ගැටළු වැඩිවීම, බෝ නොවන රෝග වැඩිවීම සමඟ සමීපව සම්බන්ධ වන බැවින් රට තුළ බෝ නොවන රෝග පාලනය හා මැඩපැවැත්වීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය දරන උත්සාහයයේ දී අක්ෂි සහ දෘෂ්ටි සත්කාර සේවා ශක්තිමත් කිරීමට අක්ෂි තාක්ෂණ විද්‍යාලය ඇතුළු අක්ෂි තාක්ෂණවේදීන් ගන්නා උත්සාහය සෘජුවම බලපාන බව ද අමාත්‍යවරයා මෙහිදී ‌පෙන්වා දෙන ලදි.

මේ වන විට අක්ෂි තාක්ෂණවේදීන් 275 කට අධික සංඛ්‍යාවක් ඔවුන්ගේ ඩිප්ලෝමා සම්පූර්ණ කර ඇති බව හෝ සම්පූර්ණ කිරීමේ ක්‍රියාවලියක යෙදී සිටින බවත්, ශික්ෂණ රෝහල්, මහ රෝහල් සහ මූලික රෝහල් සමඟ ජාතික සේවාවට අනුයුක්ත කර ඇති සංඛ්‍යාව 250 ක් පමණ වන බව ද 40 කට ආසන්න සංඛ්‍යාවක් සන්නද්ධ හමුදාවල හෝ පෞද්ගලික අංශය සමඟ කටයුතු කරන බව ද රටේ අවශ්‍යතා ප්‍රමාණවත් ලෙස සහ කාර්යක්ෂමව සපුරාලීමට නම්, රටට තවත් අක්ෂි තාක්ෂණවේදීන් සේවාව අත්‍යාවශ්‍ය බවද නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන ලදි.