නිමල් රාජපක්ෂ-
වලස්මුල්ල මුලික රෝහලට පෙරේදා(10) රාත්‍රියේ මහවැස්සත් සමගින් එල්ලවු අකුණු පහරින් හදිසි ප්‍රතිකාර ඒකකය මුළුමනින්ම විනාශ වීමෙන් රුපියල් ලක්ෂ පනහක පමණ අලාභයක් සිදු වි ඇතැයි ගණන් බලාතිබේ.
අකුණු පහරත් සමග එම ඒකකයේ තිබු විදුලි බලයෙන් ක්‍රියාත්මක වන සියලුම උපකරණ විනාශ වී ඇති අතර අකුණු පහර නිසා ඇති වූ ගින්නෙන් ගොඩනැගිල්ලට ද හානි සිදුවී තිබේ.
මේ සම්බන්ධව සොයා බැලීම සඳහා කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඊයේ (11) එම රෝහලට සිදු වූ හානිය සොයා බැලීම සඳහා එහි ගියේය.
මෙම සිද්ධිය සම්බන්ධව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා දකුණු පළාත් ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා සමග ඊයේ (11) දුරකථනයෙන් සාකච්ඡා කර තිබේ. මෙම හදිසි ප්‍රතිකාර ඒකකය ප්‍රතිසංස්කරණය සඳහා දකුණු පලාත් සෞඛ්‍ය අමාත්‍යශයෙන් මුදල් ලබා දීමටත්, ආණ්ඩුකාරවරයා අද දිනය තුළ එම රෝහල නිරීක්ෂණය කිරීමටත් නියමිත බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.
අකුණු පහර වදින අවස්ථාවේ එම ඒකකයේ රෝගීන් තිදෙනෙක් ප්‍රතිකාර ලබමින් සිටි අතර ඔවුන්ට හානියක් සිදුවී නැත. නමුත් ඇති වූ ගින්න නිසා එම රෝගීන් එළියට ගැනීම සඳහා මහත් පරිශ්‍රමයක් දැරීමට රෝහල් කාර්ය මණ්ඩලයට සිදු වූ බව එම කාර්ය මණ්ඩලය අමාත්‍යවරයා සමග පැවසීය.
