Spread the love


ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයේ ඩිජිටල් මෙවලම් වැඩිදියුණු කිරීම සඳහා තවදුරටත් ජාත්‍යන්තර සහාය අපේක්ෂා කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ප්‍රංශයේ පැරිස් නුවර පැවැති යුනෙස්කෝ මහා සමුළුවේ 42 වැනි සැසියට එක්වෙමින් පැවසුවේය.
පසුගිය වසර 74 ක කාලය තුළ යුනෙස්කෝව සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට ශ්‍රී ලංකාවට හැකිවීම පිළිබඳ සතුටට පත්වෙයි.
රජයේ ප්‍රමුඛ වැඩසටහන් පහක් යුනෙස්කෝ සංවිධානයේ අරමුණු සමග එක්වෙමින් සාක්ෂාත් කර ගැනීමට අපේක්ෂා කෙරේ.

ශ්‍රී ලංකාවේ ජෛවගෝල රක්ෂිත ලෙස ස්ථාන 34ක් නම් කර තිබේ. යුනෙස්කෝව ඉන් හතරක් සිය ලෝක ජාලයේ කොටසක් ලෙස පිළිගෙන ඇත.. ලොව තෙත් බිම් සංරක්ෂණය වෙනුවෙන් පිහිටුවාගෙන ඇති රැම්සා සම්මුතියට අයත් අඩවි යටතට කොළඹ සහ ඒ අවට තෙත්බිම් ද අයත්ව තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දේශගුණික විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයක් පිහිටුවීමට ප්‍රකාශ කර ඇත.
එම විශ්වවිද්‍යාලය වෙනුවෙන් යටිතල පහසුකම් සඳහා අරමුදල් ද 2024 වසර තුළ වෙන් කර තිබේ.
මෙම විශ්වවිද්‍යාලය පිහිටුවීමේ කටයුතු සඳහා යුනෙස්කෝ සහ අනෙකුත් ජාත්‍යන්තර පාර්ශවකරුවන්ගේ සහාය අපේක්ෂා කරන බවද පැවසුවේය.
දඹුල්ලේ ලෙන්විහාරයේ, ගඩලාදෙනියේ සහ දෙගල්දොරුව විහාරවල බිතුසිතුවම් සංරක්ෂණයට යුනෙස්කෝ සංස්කෘතික අංශය ලබාදුන් සහයෝගය පිළිබඳව කෘතවේදීත්වය පළකරනු ඇත.
2003 සහ 2005 වසරවල ලබාදුන් ධාරිතා සංවර්ධන වැඩසටහන් පිළිබඳව ස්තුතිය පළකරන අතර යුනෙස්කෝ විද්‍යා අංශය මගින් ශ්‍රී ලංකාවේ ග්‍රාමීය පාසල්වල STEAM අධ්‍යාපනය සඳහා මෙවලම් කට්ටල සැපයීමට පියවර ගැනීම ද කෘතවේදී ව අගය කරන බව අමාත්‍යවරයා පැවසුවේය.
දකුණු ආසියාවේ තිරසාර ජල සම්පත් කළමනාකරණය පිළිබඳ යුනෙස්කෝ හමුව මොරටුව විශ්වවිද්‍යාලයේ දී පැවැත්වීමට තීරණය කර යි.
ශ්‍රී ලංකාව තුළ පාසල් දරුවන්ට ආතතියෙන් තොර ඉගෙනුම් පරිසරයක් ඇති කිරීම, පරිවර්තනීය අධ්‍යාපනයක් වෙනුවෙන් දරුවන් යොමු කළ හැකි පරිදි ගුරුවරුන් බලගැන්වීමට අවධානය යොමුව තිබේ.
ඩිජිටල් දියුණුව උත්තේජනය කිරීම කෙරෙහි අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ සුවිශේෂ අවධානය යොමුකර ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේය..