Spread the love

අධ්‍යාපන පරිපාලන ප්‍රතිසංස්කරණවල මූලික අදියර යටතේ දිවයින පුරා පාසල් පර්ෂද 1220ක් නිර්මාණය කර ඒවායේ අධීක්ෂණ කටයුතු සඳහා පාසල් මණ්ඩල 350ක් නිර්මාණය කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.

ඒ වගේම අධ්‍යාපන පරිපාලන ප්‍රතිසංස්කරණවල මූලික අදියරට අප පැමිණ සිටිනවා. ඊට අදාළ අමාත්‍ය මණ්ඩල සංදේශය ඉදිරිපත් කොට එහි චක්‍රලේඛය ඉදිරියේ දී නිකුත් කිරීමට නියමිතයි. ඊට අනුව දිවයින පුරා පාසල් පර්ෂද 1220ක් නිර්මාණය කෙරෙන අතර ඒවායේ අධීක්ෂණය සඳහා පාසල් මණ්ඩල 350ක් නිර්මාණය වනවා. ඉදිරියේ දී පවතින අධ්‍යාපන කළාප 100 ක්‍රමානුකූව වැඩි වීමට ද නියමිතයි. පාසල් පර්ෂ ද මුල්කරගනිමින් 01 වසර සිට 11 වසර දක්වා පන්ති තිබෙන පාසල්වල සිසුන් උසස් පෙළ සඳහා ඒ පර්ෂදයේ විෂය ධාරා පවතින ප්‍රමුඛ පාසල් සඳහා අනුයුක්ත කිරීමට හැකි වන පරිදි පාසල් බලධාරීන්ට බලය ලබා දීමක් ද මෙහිදී සිදු වනවා.

එමෙන්ම ගුරු පුරප්පාඩු පිරවීම සඳහා රසායන විද්‍යාව, භෞතික විද්‍යාව, ජීව විද්‍යාව, ගණිතය සහ තාක්ෂණ විෂය ධාරාව මෙන්ම විදේශ භාෂා පිළිබඳ උපාධිධාරීන්ට සම්මුඛ පරීක්ෂණ පවත්වා තිබෙනවා. එම සම්මුඛ පරීක්ෂණ සඳහා සහභාගී වූ 7000ක පමණ පිරිස අතුරින් 3000කට වැඩි පිරිසකට විෂය ගැලපීම මත පත්වීම් ලබාදීමේ කටයුතු ද මේ මේ වන විට සකස් කෙරෙමින් තිබෙනවා. ඔවුන් පුහුණුවකින් පසුව ජූනි පළමු වනදා වන විට පාසල්වලට යොමු කෙරෙනවා. මේ හරහා විද්‍යා හා තාක්ෂණ විෂය ධාරවන්වල ගුරු ඌනතාවය යම් ප්‍රමාණයකට විසඳෙන බව පැවසිය යුතුයි. අධිකරණ නියෝග මත අත්හිටුවා තිබූ පළාත් ගුරු පත්වීම් ආශ්‍රිත ගැටළු ද මේ වන විට විසඳෙමින් පවතිනවා.

ඒ වගේම විදුහල්පති ගැටළු විසඳීම සඳහා අප විසින් කමිටුවක් පත් කළා. විදුහල්පති වෘත්තීය සංගම් එකඟ වූ නිර්දේශ ඇතුළත් ප්‍රධාන කරුණු පිළිබඳව අමාත්‍ය මණ්ඩල සංදේශය මේ වන විට ඉදිරිපත් කර තිබෙනවා. විදුහල්පති දීමනා, අධි ශ්‍රේණි ඇති කිරීම සහ තවත් ප්‍රායෝගික කරුණු කිහිපයක් එම අමාත්‍ය මණ්ඩල සංදේශයේ ඇතුළත් බව ද පැවසිය යුතුයි.

තවද අධ්‍යාපන පරිපාලන සේවයේ පුරප්පාඩු රාශියක් පැවතුණා. ඉන් 404ක් සඳහා සීමිත තරග විභාග ප්‍රථිපල අනුව බඳවා ගැනීමට නියමිත සම්මුඛ පරීක්ෂණ ලබන සතියේ ආරම්භ කරනවා. එමෙන්ම ගුරු අධ්‍යාපනඥ සේවයේ 800ක් බඳවා ගැනීම සඳහා වන දෙවන සම්මුඛ පරීක්ෂණය ද ඉදිරියේ දී පැවැත්වීමට නියමිතයි. ගුරු විද්‍යා පීඨ, විශ්ව විද්‍යාල බවට පත් කිරීමේ කෙටුම්පතෙහි ද නීති කෙටුම්පත් සම්පාදක කටයුතු අවසන් කර තිබෙනවා.