Spread the love

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ නම භාවිතා කරමින් කලල්ගොඩ ප්‍රදේශයේ අනවසර ගොඩකිරීමක් සිදු කළ පුද්ගලයින් දෙදෙනෙක් අත්අඩංගුවට ගැනේ.

තලවතුගොඩ, කලල්ගොඩ ප්‍රදේශයේ අනවසර ඉඩම් ගොඩකිරීමක් සිදු වන බවට ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සභාපතිවරයා වෙත ඊයේ (06) තොරතුරක් ලැබී තිබිණ. ඒ අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් වහාම සොයා බලන ලෙස සභාපතිවරයා විසින් ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ විශේෂ බලාත්මක කිරීමේ ඒකකය වෙත දැනුම් දී තිබේ. ඒ අනුව ක්‍රියාත්මක වු මෙම ඒකකයේ වැටලීම් අංශය අදාල ප්‍රදේශයේ හදිසි වැටලීමක් සිදු කෙරිණ.

එහිදි අනවසර ගොඩකිරීමක් සිදු කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙක් ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ විශේෂ බලාත්මක කිරීමේ ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරුවන් සමග ටිපර් යන්ත්‍රයක් සහ බැකෝ යන්ත්‍රයක්ද නිළධාරීන් භාරයට ගැනිණ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කැකිරාව ප්‍රදේශයේ පදිංචි 53 හැවිරිදි පුද්ගලයෙක් සහ මාතර ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි පුද්ගලයෙකි.

ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ විශේෂ බලාත්මක කිරීමේ ඒකකය සදහන් කළේ සැකකරුවන් සහ අදාල වාහන වැඩිදුර විමර්ශන කටයුතු සදහා තලංගම පොලීසියට භාර දුන් බවයි. වැඩිදුර විමර්ශන කටයුතු පොලීසිය විසින් සිදු කරනු ලබන අතර සැකකරුවන් අද අධිකරණය ඉදිරිපත් කිරීමට නියමිතයි.

2021 අංක 13 දරණ ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සංශෝධිත පනත අනුව කිසියම් ප්‍රදේශයක අනවසර ගොඩකිරීමක් හෝ ඉදිකිරීමක් සිදු වනවා නම් අදාළ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ විශේෂ බලාත්මක කිරීමේ ඒකකයට බලය තිබේ.

අනවසර ගොඩකිරීමක් යනු ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ අනුමැතියකින් තොරව සිදුකරනු ලබන ඕනෑම ගොඩකිරීමකි. ඒ අනුව පහත්බිම්/වගුරු බිම්/ගොහොරු හෝ මුඩුබිම් ගොඩකිරීම, ඇළ හරස් කර සිදු කරන ඉදිකිරීම් හෝ ගොඩකිරීම, ඇළ රක්ෂිත ගොඩකිරීම අනවසර ගොඩකිරීම් ගණයට අයත් වේ.